වැඩියෙන් කිරි එරෙන එළදෙන්නු ඉන්න මන්ත්‍රීලා

වැඩියෙන් කිරි එරෙන එළදෙන්නු ඉන්න පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ගාන පාර්ලිමේන්තුවේදී ඊයේ (18) අනාවරණය විය.

එලෙස අනාවරණය වූයේ විදෙස් රටවලින් මෙරටට ගෙන්වූ එලදෙනුන් සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ ඇති වූ උණුසුම් විවාදයකදීය.
"කිරිදෙනුන් ගන්නකොට තිබ්බෙ කිරි ලීටර් 25ක් 30ක් හම්බවෙනවයි කියලා. හැබැයි දැන් ලංකාවේ ඉන්න බටු හරක්ට වැඩිය තත්ත්වය නරක් වෙලා තියෙන්නේ. මෙතන විශාල වංචාවක් සිදු වෙලා තිබෙනවා" යැයි වාචික පිළිතුරු අපේක්ෂාවෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා ප්‍රශ්න කළේය.

"2014 වසරේ සිට විදෙස් රටවලින් එළදෙනුන් ගෙන්වීම සිදු කර තිබෙනවා. මේ ගිවිසුම අවලංගු කරන්නේ නම් එදා තත්ත්වය අනුව විශාල වන්දියක් ගෙවීමට සිදුවෙනවා. මෙම එළදෙනුන් ගෙන්වීමට පෙර මෙරට තුල කිසිදු පරීක්ෂණයක් ද කර තිබුණේ නැහැ" යැයි දයාසිරි ජයසේකර මහතාට පිලිතුරු දෙමින් කෘෂිකර්ම ඇමති පී. හැරිසන් මහතා පැවැසීය.

"මම පරණ ඒවා වහන්න හදන්නේ නැහැ. ඒවා මහ හරක් කරපු වැරදි. හැබැයි දැනට අරන් තිබෙන පියවරක් මදි" යයි දයාසිරි ජයසේකර මහතා පැවැසීය.

කිරි හරක් පිළිබඳව විවාදයට එක්වෙමින් ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මෙසේ පැවැසීය.

"ලක්ෂ්මන් වසන්ත පෙරේරා සහ විජිත් විජිතමුනි සොයිසා යන මන්ත්‍රීවරු ගත්ත එළදෙනුන්ට හොදට කිරි එරෙනවා. එම එලදෙනුන්ගෙන් ලීටර් 25ක් 30ක් එනවා. අනෙක් ව්‍යාපාරිකයන් සහ ගොවීන් ගත්ත එළදෙනුන්ට කිරි ලීටර් අටක් දහයක් වත් එරෙන්නේ නෑ. ඒකයි මේ ප්‍රශ්නය."
Previous Post Next Post