ජනපති ඝාතන කුමන්ත්‍රණ සම්බන්ධයෙන් නාමල් කුමාර දුන් හඬ පට පොලිස්පතිගේ කටහඬට ගැළපයි !

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් සම්බන්ධයෙක් හෙළිකළ දූෂණ විරෝධී ජාතික ව්‍යාපාරයේ අධ්‍යක්ෂ නාමල් කුමාර විසින් ලබාදුන් හඬ පටයේ තිබූ කටහඬ පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ බව රජයේ රස පරීක්ෂකවරයා සිදු කළ විමර්ශනයෙන් තහවුරු වී ඇති බව වාර්තා වනවා.

ඒ අනුව අදාල කටහඬ සාම්පල් වාර්තාව රජයේ රස පරීක්ෂකවරයා විසින් කොටුව මහෙස්ත්‍රාත්වරයාට පසුගියදා බාර දී තිබෙනවා.

මේ අතර මෙම ඝාතන කුමන්ත්‍රණ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගෙන් දෙවැනි දිනටත් පසුගිය 17 වනදා පැය තුනක කාලයක් ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා.

දූෂණ විරෝධී ජාතික ව්‍යාපාරයේ අධ්‍යක්ෂ නාමල් කුමාර විසින්  ජනාධිපතිවරයා සහ හිටපු ආරක්ෂක ලේකම්වරයා ඝාතන කුමන්ත්‍රණයට අදාළව හඬපට 23 ක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ලබා දී තිබිණා.

එම  හඬපටවල ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසයේ නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා සහ පොලිස්පති පූජිත් ජයසුන්දරගේ  කටහඬ සටහන් වී තිබුණු අතර මෙම හඬපට තහවුරු කිරීම සඳහා මීට පෙර නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වාගේ කටහඬ සාම්පල් පරීක්ෂා කිරීමටද රස පරීක්ෂකවරයා කටයුතු කර තිබුණා.
Previous Post Next Post