ෆ්‍රයිඩ් රයිස් ප්‍රමාදය නිසා කැකිරාව ප්‍රා. ස සභාපති ගැබිණියකට තලයි

කැකිරාව ප‍්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ඇතුළු සිව් දෙනෙකු සභාවේ කැබ් රියකින් පැමිණ හබරණ නගරයේ අවන්හලක සිටි අටමස් ගැබිණි මවකට පරුෂ වචනයෙන් බැනවදිමින් හා පහරදී ඇති පුවතක් වාර්තාවේ.

ෆ්‍රයිඩ් රයිස් එකක් ඇනවුම්කර එය ලබාදීම ප‍්‍රමාදවීම නිසා කෝපයට පත්ව එහි හිමිකරුට හා ඔහුගේ බිරිඳ වන අටමස් ගැබිණි මවකට මෙන්ම අවන්හගේ සේවය කළ වියපත් පුද්ගලයෙකුට බැනවදිමින් පහර දී ඇති අතර අවන්හලේ භාණ්ඩවලට අලාභානී සිදුකර ඇත.
සභාපති ඇතුළු සිව් දෙනෙකු මෙම සිද්ධියට සම්බන්ධ බවට හබරණ පොලිසියට එහි හිමිකරු වන සම්පත් විජේකුමාර මහතා විසින් පැමිණිලි කර තිබේ.

පසුගිය දිනෙක සවස 5.00 ට පමණ කැබ් රියෙන් පැමිණ ඇති සභාපතිවරයා වාහනයේ අසුනේ සිටියදීම අවන්හලේ එම අවසථාවේ සිටි වියපත් කෙනෙකුගෙන් කට ගැස්මක් ඇත්දැයි විමසා ඇත. එවැනි දේවල් අලෙවි කිරීමට නොමැති බව පැවසීමෙන් පසු මුදල් නොගෙවා ෆ්‍රයිඩ් රයිස් එකක් ඇනවුම් කර ඔවුන් පැමිණි කැබ් රිය පිටත්ව ගොස් තිබේ. අනතුරු එම ‍ෆ්‍රයිඩ් රයිස් එක පිළියෙළ කර පැය තුනක් පමණ කාලයක් ගිය පසු ඇනවුම් කළ සභාපතිවරයා ඇතුළු පිරිස නොපැමිණීම නිසා වෙනත් අයෙකුට එය අලෙවිකර ඇත.

රාත‍්‍රී 8.40 ට පමණ අධික ලෙස බීමත්ව පැමිණ ඇති සභාපතිවරයා තම ඇනවුම ඉල්ලා ඇත. එහිදී හිමිකරු සභාපතිවරයා පැමිණීම ප‍්‍රමාදවීම නිසා එය අලෙවි කළ බවත් කඩිනමින් යළිත් එකක් පිළියෙළ කරදිය හැකි බව පැවසීමත් සමඟ සභාපතිවරයා පැමිණි වාහනයෙන් බැස ඇනවුම භාරදුන් වියපත් පුද්ගලයාට පළමුවෙන් බැනවැදී පහරදීමට උත්සාහ දැරීමේදී අවන්හල් හිමිකරුගේ බිරිඳ මැදිහත්ව තිබේ. අටමස් ගැබිණි මවටද දැඩි ලෙස පරුෂ වචනයෙන් බැන වැදී පහරක් එල්ල කිරීමත් සමග අවන්හල් හිමිකරු මැදිහත්වීමෙන් පසු ඔහුටද පරුෂ වචනයෙන් බැන වැදී පහරදී තිබේ,

පසුව අවන්හල් හිමිකරු විසින් තමාට, බිරිඳට සහ වියපත් මාමාට තම දියණියන් තිදෙනා හා විදේශිකයින් ඉදිරිපිටදී පරුෂ වචනයෙන් බැනවැදී පහරදීම පිළිබඳව පොලිසියට පැමිණිලි කර තිබේ.

මේ පිළිිබඳව හබරණ වැඩ බලන පොලිස් ස්ථානාධිපති කුලතුංග මහතාගෙන් විමසීමේදී කියා සිටියේ සිද්ධියට සම්බන්ධ දෙපාර්ශවයෙන්ම පැමිණිලි කර ඇති බවත් කැකිරාව සභාපතිවරයාට විරුද්ධව පැමිණිල්ලක් නොමැති බවත් වෙනත් පිරිසකට විරුද්ධව ලැබී ඇති පැමිණිල්ලක් පිළිබඳව පරීක්ෂණයක් ආරම්භ කර තිබෙන බවත් ඒ සම්බන්ධයෙන් කිසිවෙකු අත්අඩංගුවට ගෙන නොමැති බවද පැවසීය.
Previous Post Next Post