රිය අනතුරු ගැන ෆේස්බුක් සටහන් තැබූ 15 ක් පොලිසියට

බොරැල්ල පොලිසියේ රථවාහන විමර්ශන අංශ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ආනන්ද සාගර සරච්චන්ද්‍ර මහතා (51) බම්බලපිටියේදී ඩිෆෙන්ඩර් රථයකට යට වී මිය යෑමේ සිද්ධිය සම්බන්ධයෙන් ෆේස්බුක් සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ සටහන් යෙදූ පුද්ගලයින් 15 දෙනකු අධිකරණයට කැඳවා සාක්ෂි ලබා ගැනීමට කටයුතු කරන බව පොලිසිය පවසයි.
මෙම රිය අනතුර සිදුවන අවස්ථාවේ ඩිෆෙන්ඩර් රථය පැදවූ පුද්ගලයා දැනට අත්අඩංගුවේ පසුවන අය නොවන බව සඳහන් කරමින් මෙම පුද්ගලයින් මුහුණු පොතේ සටහන් යොදා තිබූ බැවින් මෙම කැඳවීම සිදුකර තිබේ.

කෙසේ වෙතත් මේ වනවිට පොලිසිය සිදුකරන ලද පරීක්ෂණවලට අනුව අනාවරණය වී ඇත්තේ මෙම රිය අනතුර සිදුවන අවස්ථාවේ ඩිෆෙන්ඩර් රථය පදවා ඇත්තේ දැනට රක්ෂිත බන්ධනාගාරගතව සිටින නවිඳු ඔමේෂ් රත්නායක නමැති ප‍්‍රභූ ආරක්ෂක අංශයේ පොලිස් අධිකාරිවරයකුගේ පුත‍්‍රයා බවයි.

එම පරීක්ෂණ සඳහා ස්ථාන 5 කින් ලබාගත් සී. සී. ටී. වී. දර්ශන උපයෝගී කරගත් බව ද එම නිලධාරියා සඳහන් කළේය.

පසුගිය පෙබරවාරි මස 24 වැනිදා අලුයම බම්බලපිටිය, ගාලූ පාරේ, ඩුප්ලි බුලර්ස් මංසන්ධියේදී පොලිස් රථවාහන විමර්ශන අංශ ස්ථානාධිපතිවරයා ගමන් ගත් යතුරුපැදිය අනතුරට ලක් කරමින් ඩිෆෙන්ඩර් රථය පලා ගොස් තිබූ අතර, පසුව ඒ සම්බන්ධව පරීක්ෂණ පවත්වා බත්තරමුල්ල, පැලවත්ත, පැගෝඩා ගාර්ඞ්න්ස් හි නිවසක නවතා තිබියදී ඩිෆෙන්ඩර් රථය සොයා ගන්නා ලදි.
Previous Post Next Post