මහින්ද කැමතියි - අපි අනිද්දා හමුවෙනවා" - ජවිපෙ කියයි

විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා සමග අනිද්දා (06) සාකච්ඡාවකට එක්වන බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා.

විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීම සඳහා ගතහැකි පියවර පිළිබඳ එහිදී සාකච්ඡා කරන බවයි ඔවුන් වැඩිදුරටත් පැවසුවේ.
ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රචාරක ලේකම්, පාර්ලිමේන්තු මන්ත‍්‍රී විජිත හේරත් මේ බව සඳහන් කළා.

එහිදී "විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න කැමතියි කියලා මහින්ද රාජපක්ෂ විපක්ෂනායකතුමා කියලා තිබුණා. ජනතාවගේ පැතුම විධායකය අහෝසි කිරීමයි කියලා එතුමා සති දෙකකට කලින් පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කරලා තිබුණා. 2005දීත් 2010දීත් එතුමා කිව්වා. ඒ නිසා අද පවතින මේ තත්ත්වයත් සමග අපි මහින්ද රාජපක්ෂ මහතා සමග සාකච්ඡා කරනවා" යනුවෙන් සඳහන් කළා.

කෙසේවෙතත් මාතර ඊයේ (03) පැවැත්වූ මාධ්‍ය හමුවක දී පාර්ලිමේන්තු මන්ත‍්‍රී මහින්ද යාපා අබේවර්ධන පැවසුවේ මහින්ද රාජපක්ෂ මහතා සහ ජනතා විමුක්ති පෙරමුණ අතර කිසිදු සාකච්ඡාවක් සිදු නොවනු ඇති බවයි. ඔහු කියා සිටියේ "මාධ්‍ය මොනවා වාර්තා කළත් මහින්ද රාජපක්ෂ මහත්තයාත් අනුර කුමාරත් අතරේ කිසිම සාකච්ඡාවක් මේ වෙනකම් සිදුවෙලත් නෑ..අපේ දැනීමේ හැටියට හෙට අනිද්දා සිදුවෙන විදිහේ පරිසරයකුත් නෑ" යනුවෙනි.

මේ අතර මහින්ද රාජපක්ෂ මහතා ජනතා විමුක්ති පෙරමුණේ 20 වන සංශෝධනය සම්බන්ධයෙන් එකග වුවහොත් තමන් ඒකාබද්ධ විපක්ෂයෙන් ඉවත් වන බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මීට පෙර කියා සිටියා.
Previous Post Next Post