හතුරුව හදිස්සියේ කැඳවයි !

ලබන 16 වැනිදා කේප්ටවුන් හි පැවැත්වෙන දකුණු අප්‍රිකාව හා ලංකාව අතර පස්වෙනි හා අවසන් එක්දින තරගයෙන් පසුව ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතා ශ්‍රී ලංකාවට කැඳවීමට යන බව ක්‍රිකට් අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.
ඒ අනුව දකුණු අප්‍රිකාව හා ශ්‍රී ලංකාව අතර පන්දුවාර විස්සයි - 20 තරග තුනෙහි ප්‍රධාන පුහුණුකරු ලෙස දැනට ශ්‍රී ලංකා පිලේ රැකීමේ පුහුණුකරු ලෙස කටයුතු කරනු ලබන ස්ටීව් රික්සන් මහතා කටයුතු කරනු ඇති බවයි.

ඕස්ට්‍රේලියානු ජාතික රික්සන් මහතා මීට පෙර ඕස්ට්‍රේලියානු පිලේ සහය පුහුණුකරු ලෙසත්, නවසීලන්ත පිලේ ප්‍රධාන පුහුණුකරු ලෙසත් කටයුතු කළ අයෙකි.

දකුණු අප්‍රිකානු පිල හා පැවැති එක්දින තරගාවලියේදී ශ්‍රී ලංකා පිල දිගින් දිගටම අසාර්ථකවීම චන්දිකගේ හදිස්සි කැඳවීමට හේතුවී ඇති බව ක්‍රිකට් කේෂ්ත්‍ර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

චන්දික හතුරුසිංහ මහතාට දීමනාද ඇතුළත්ව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය රුපියල් ලක්ෂ 75කට ආසන්න මුදලක් වැයකරනු ලබන බව පැවසේ.

ඔහු ලෝකයේ සිටින තෙවැනි වැඩියෙන්ම මුදල් ලබාගන්නා පුහුණුකරු වන අතර ඔහුට ඉදිරියෙන් සිටින්නේ එංගලන්ත ක්‍රිකට් පිලේ පුහුණුකරු ට්‍රෙවර් බේලිස් හා ඉන්දීය ක්‍රිකට් පුහුණුකරු රවී ශාස්ත්‍රීය.
Previous Post Next Post