ජනපතිට එරෙහි ප්‍රහාරය අගමැතිගේ වැඩක් !

අයවැය තුන්වනවර කියවීම හෙවත් කාරක සභා අවස්ථාවේ විවාදයේදී ඊයේ (13) විවාදයට ගැනුනු ජනාධිපති වැය ශීර්ෂය සම්බන්ධයෙන් අදහස් දැක්වූ එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු ජනාධිපතිවරයා ඉලක්කකර ගනිමින් දැඩි ප්‍රහාරයක් එල්ල කලේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මතබව මේ වනවිට තහවුරු වී ඇතැයි ජනාධිපති කාර්යාලයේ ප්‍රකාශකයකු  පැවසිය.
ඊයේ පැවති විවාදයට එක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා සම්බන්ධයෙන් දැඩි විවේචනයක් එල්ල කළාය.

"මහින්ද මහත්තයා දැන ගත්තා නයා නයාමයි කියලා. විපක්ෂයේ උදවියට අපි කියනවා නැගිටලා යන්න කියලා. ජනපති පුද්ගලයෙක් ලෙස විශ්වාස කරන්න බෑ. අපි වැටුණ වලේ නැවතත් වැටෙන්න එපා. ජනපති තමන්ගේ දේ කර ගන්න අනිත් අය භාවිත කළා. " යයි පැවසු මන්ත්‍රීවරිය, ජනපති වැය ශීර්ෂයට එරෙහිව ඡන්දය භාවිත කරන බවත් පැවැසුවාය.

බෙදීමක් අවශ්‍ය නැ - අගමැති කියයි

කෙසේවුවද ජනාධිපති වැය ශිර්ෂය ඊයේ පාර්ලිමේන්තුවේදී කිසිඳු සංශෝධනයකින් තොරව ඒකමතිකව සම්මත විය.

සම්මත කිරීම සඳහා ශිර්ෂ අංක එක සභාවට ඉදිරිපත් කළ අවස්ථාවේ දී එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී චමින්ද විජේසිරි නැගී සිට බෙදීමක් ඉල්ලා සිටියේය.

බෙදීමක් අවශ්‍යදැයි කතානායක කරු ජයසූරිය මහතා යළි යළිත් ප්‍රශ්න කළ අතර එම අවස්ථාවේ සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා නැගී සිට බෙදීමක් අවශ්‍ය නැති බව පැවසිය. මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා ද බෙදීමක් අවශ්‍ය නැති බව මෙහිදී අවධාරණය කර සිටියේය.

ඒ සමග එජාප පසුපෙල මන්ත්‍රීන් ඝෝෂාකාරී වූ අතර අගමැතිවරයාට පවා ඔවුන් හසුරුවා ගැනීමේ අපහසුතාවයක් දක්නට ලැබිණ

එහිදී අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා නැගී සිට බෙදීමක් අවශ්‍ය නැති බව යළිත් වරක් දැනුම් දුන්නේය. ඒ අනුව ඡන්දයකින් තොරව ජනපති වැය ශීර්ෂය සම්මත විය.

'ඉවසුවා ඇති' - ඇමතිවරයෙක් කියයි

මෙසේ පාර්ලිමේන්තු කටයුතු නිමවීමෙන් අනතුරුව ආණ්ඩුව නියෝජනය කරන දේශපාලන පක්ෂ නායකයින් බොහෝදෙනෙකු පවසා ඇත්තේ, එජාප පසුපෙළ මන්ත්‍රීවරුන්ගේ හැසිරීම කිසිඳු ලෙසකින් අනුමත කල නොහැකි බවයි. ජනාධිපතිවරයා සමග ඉවසීමෙන් කටයුතු කල යුතු බව ඔවුන්ගේ ස්ථාවරය වී තිබේ.

එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයකු පවසා ඇත්තේ, 'ඉවසුවා ඇති' ඒකාබද්ධ විපක්ෂයේ සටන් පාඨය අද එක්සත් ජාතික පක්ෂය සම්බන්ධයෙන් ද අදාල වන බවයි.
Previous Post Next Post