පාර්ලිමේන්තුව සූදානම් කෙරේ

අග‍්‍රාමාත්‍යවරයා ලෙස රනිල් වික‍්‍රමසිංහ මහතා නැවත දිවුරුම්දීමෙන් පසු පළමුවරට පාර්ලිමේන්තුව අද (18) රැස් වනවා. ඒ අනුව පාර්ලිමේන්තුවේ ආසන පැනවීමද අද සිදුවන්නේ මෙම නව සංයුතියට අනුවයි.

ආණ්ඩු පක්‍ෂයේ ආසන එක්සත් ජාතික පෙරමුණට ලබාදෙනු ඇති. එක්සත් ජනතා නිදහස් සන්ධානයට, දෙමළ ජාතික සන්ධානයට සහ ජනතා
විමුක්ති පෙරමුණට ලැබෙනු ඇත්තේ විපක්‍ෂයේ ආසනයි.

සෙන්කෝලයේ හිස පිහිටුවන දිශාවේ එනම් කථානායක අසුනට දකුණු පසින් වන ආසන ආණ්ඩු පක්‍ෂයට වෙන්  වනවා. විපක්‍ෂයට වෙන් වන්නේ කතානායක අසුනට වම් පසින් වන ආසනයි. මෙම දෙපැත්තේම ඇත්තේ ආසන 116 බැගින්. ඒ අනුව ආණ්ඩු පක්‍ෂයේ මන්තී‍්‍රවරුන් ගණන 116 ඉක්මවුවහොත් ඔවුන්ට විපක්‍ෂයට වෙන්වන කොටසින් අතිරේක ආසන ලබාදෙනු ඇති.

පාර්ලිමේන්තුවේ ආසන පැනවීමේදී අග‍්‍රාමාත්‍යවරයාට සහ විපක්‍ෂ නායකවරයාට වෙනම ආසන ලබාදෙනවා. අද අග‍්‍රාමාත්‍යවරයාට හිමි අසුන රනිල් වික‍්‍රමසිංහ මහතාට වෙන් කෙරෙන බවයි පාර්ලිමේන්තුවේ වේත‍්‍රධාරී නරේන්ද්‍ර ප‍්‍රනාන්දු පැවසුවේ. විපක්‍ෂ නායකවරයාට වෙන් කෙරෙන අසුන ලබාදෙන්නේ කාටදැයි ලැබෙන උපදෙස් අනුව තීරණය කරන බවද වේත‍්‍රධාරීවරයා පැවසුවා.

කැබිනට් මණ්ඩලයක් දිවුරුම්දී නොමැති නිසා අග‍්‍රාමාත්‍යවරයා හැර ආණ්ඩු පක්‍ෂයේ සෙසු මන්තී‍්‍රවරුන්ගේ ආසන පැනවීම ජ්‍යෙෂ්ඨත්වය අනුව සිදුවනු ඇති. විපක්‍ෂයේ ආසන පැනවීමද ජ්‍යෙෂ්ඨත්වය අනුව සිදුවන බව වේත‍්‍රධාරීවරයා වැඩිදුරටත් පැවසුවා.

මේ අතර ඉකුත් සමයේ ඇතැම් දිනවල වසා තැබුණු පාර්ලිමේන්තුවේ මහජන ගැලරිය අද නැවත විවෘත කිරීමට නියමිතයි. එහෙත් මහජන ගැලරියට අමුත්තන් පැමිණීම සීමා කිරීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව සෑම මන්තී‍්‍රවරයෙකුටම මහජන ගැලරියට රැගෙන ආ හැක්කේ සීමිත අමුත්තන් ගණනක් බවයි වේත‍්‍රධාරිවරයා පැවසුවේ. පාර්ලිමේන්තුව අද පස්වරු 1.00 ට රැස් වනවා.


Previous Post Next Post