ජනපති නිකුත් කළ ගැසට් නිවේදනයේ තීන්දුව නීත්‍යානුකූල හෝ එසේ නොවන බවට නොදී දිය හැකි තවත් තීන්දුවක් ගැන නීතිවේදීන් පෙන්වයි

පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව බොහෝ විට අද (13) හෝ හෙට (14) ලැබෙනු ඇතැයි විශ්වාසය පළ වනවා. මෙම තීන්දුව පිළිබඳ මෙන්ම තීන්දුවෙන් පසු ඇති විය හැකි තත්ත්වය පිළිබදවද බොහෝ දෙනා තුළ ඇත්තේ කුතුහලයක්.

ඒ අනුව තීන්දුව කුමක් විය හැකි දැයිද එමගින් කුමන තත්ත්වයක් රට තුළ
ඇතිවේ දැයි ද  විමසා බැලීමක් කළා.

මෙම විමසීමේදී නීතිවේදීන් පෙන්වා දුන්නේ පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් ජනාධිපතිවරයා නිකුත් කළ ගැසට් නිවේදනය නීත්‍යනුකූල බවට හෝ නීත්‍යානුකූල නොවන බවට ශ්‍රේෂ්ඨාධිකරණ විසින් තීන්දු කළ හැකි බවයි. එමෙන්ම ඒ අන්ත දෙකටම නොගොස් ශ්‍රේෂ්ඨාධිකරණය අතරමැදි තීන්දුවක් ලබාදිය හැකි බවද නීතිවේදීන් පෙන්වා දුන්නා.

මේ පිළිබද වැඩිදුරටත් කරුණු දක්වමින් ජමෙයිකා තාක්‍ෂණ විශ්ව විද්‍යාලයේ මහාචාර්ය නීතිඥ ප‍්‍රතිභා මහානාම හේවා පැවසුවේ අදාළ ගැසට් නිවේදනය නීත්‍යානුකූල බවට තීන්දු කෙරුණහොත් කඩිනමින් මහමැතිවරණයක්ද පැවැත්වෙනු ඇති බවයි.

අදාළ ගැසට් නිවේදනය නීත්‍යානුකූල නොවන බවට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීන්දු කෙරුණහොත් ඇති විය හැකි තත්ත්වය පිළිබදවද මෙහිදී විස්තර කෙරුණා.

එහිදී "එතකොට පාර්ලිමේන්තුව විසුරුවා හැරෙන්නේ නෑ. පාර්ලිමේන්තුව ඒ විදිහටම ඉදිරි කාලය පවත්වාගෙන යන්න වෙනවා. හැබැයි එහිදී විධායකය සහ ව්‍යවස්ථාදායකය අතර නිතර නිතර මතගැටුම් ඇති වේවි.  ඒ මත ගැටුම් සමග ජනාධිපතිට එකම එක අවස්ථාවක් තියෙනවා..1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 85 වැනි ව්‍යවස්ථාව යටතේ පුළුවන් ජනමත විචාරණයකට යොමු කරන්න. ජනතාවගෙන් අහන්න පුළුවන් මහමැතිවරණයක් ඕනෙද නැද්ද කියලා. එවැනි ජනමත විචාරණයක් කිසිම උසාවියක ප්‍රශ්න කරන්න අවස්ථාවක් නෑ. මොකද 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කිසිම සීමාවක් දාලා නෑ...ජනමත විචාරණය සඳහා." යනුවෙන් සඳහන් කළා.

ශ්‍රේෂ්ඨාධිකරණය අදාළ ගැසට් නිවේදනය පිළිබඳ අතරමැදි තීන්දුවකට එළඹුනහොත් ඇති විය හැකි තත්ත්වය පිළිබදවද  මෙහිදී ප‍්‍රශ්න කළා.

එහිදී "ශ්‍රේෂ්ඨාධිකරණයට පුළුවන් මේක ජනමත විචාරණයකට යා හැකි තත්ත්වයක් ඇති කරන්න. හැබැයි ශ්‍රේෂ්ඨාධිකරණයට කියන්න බෑ ජනමත විචාරණයකට යන්න කියලා." යනුවෙන් සඳහන් කළා.

මේ අතර පාර්ලිමේන්තුව විසුරුවා හරමින් ජනාධිපතිවරයා විසින් නිකුත් කළ ගැසට් නිවේදනයට අදාළ පෙත්සම් විභාගය ඉකුත් 7 වැනිදා අවසන් කෙරුණා. එහෙත් තීන්දුව ප‍්‍රකාශයට පත්කරන දිනයක් එදින නිශ්චිතව ප‍්‍රකාශ කෙරුණේ නැහැ. අදාළ ගැසට් නිවේදනය අත්හිටුවමින් මීට පෙර නිකුත් කළ අතුරු තහනම් නියෝගය තීන්දුව ප‍්‍රකාශයට පත් කරන තෙක් තවදුරටත් දීර්ඝ කෙරුණා.

මෙම පෙත්සම් විභාගයට ගැණුනේ අගවිනිසුරු නලින් පෙරේරා ප‍්‍රමුඛ සත් පුද්ගල විනිසුරු මණ්ඩලයක් හමුවේයි.


Previous Post Next Post