ශ්‍රීලනිපයේ 21ක් දෙනා ජනපතිට තීරණය දන්වයි

ඔක්තෝම්බර් 26 වැනිදා හදිසි බලපෙරළියක් සිදුවන විට යහපාලන ආණ්ඩුව සමග සිටි ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ නියෝජිතයින්ගෙන් දැනටමත් එක්සත් ජාතික පෙරමුණට සහය පළ කර සිටින තුන්දෙනා හැර වෙනත් කිසිවෙකු පිහිටුවන නව ආණ්ඩුවට එක් නොවන බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර නිශාන්ත මුතුහෙට්ටිගම පවසනවා.

ජනාධිපතිවරයා සමග ඊයේ (17) පැවැති සාකච්ඡාවකදී මෙම තීරණය ගත්
බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.

එහිදී "අනෙක් අය ගැන මට කියන්න බෑ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 21ක් දෙනාගේ කණ්ඩායම ජනාධිපතිවරයා ඉදිරියේ එකම තීරණයකට ආවා විපක්ෂයේ වාඩි වෙන්න. ඒක අපි ජනාධිපතිතුමාට දැනුම් දුන්නා. එතුමගේ ආශිර්වාදය ලැබුණා ඒකට." යනුවෙනි.

ඔක්තෝම්බර් 26 වැනිදා හදිසි බලපෙරළියක් සිදුවන විට යහපාලන ආණ්ඩුව සමග සිටි ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ නියෝජිතයින් ගනණ 24 දෙනෙක්. ඔවුන්ගෙන් ඒ. එච්. එම්. ෆවුසි, පියසේන ගමගේ සහ මනූෂ නානායක්කාර යන මන්තී‍්‍රවරුන් මීට පෙර එක්සත් ජාතික පෙරමුණට සහය පළ කළා.

මේ අතර එක්සත් ජාතික පෙරමුණ ඊයේ පැවැත්වූ මාධ්‍ය හමුවකදීත් ප‍්‍රකාශ කෙරුණේ ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ නියෝජිතයන් කිහිප දෙනෙකු නව ආණ්ඩුවට එක්වීමට සාකච්ඡා කරන බවයි. කණ්ඩායමක් වශයෙන් නොව පෞද්ගලිකව ඔවුන් ආණ්ඩුවට එක්කර ගැනීමට සූදානම් බවද එහෙත්  ඕනෑම අයෙකු ආණ්ඩුවට එක්කර ගන්නේ ඉතා කල්පනාකාරීව බවද එහිදී ප‍්‍රකාශ කෙරුණා.

Previous Post Next Post