මහජන සේවා අඩාල නොකරන්නැයි ජනපති රාජ්‍ය සේවකයින්ගෙන් ඉල්ලයි

වත්මන් දේශපාලන නොසන්සුන්තාවය හේතුවෙන් රටේ ජනතාවගේ ජන ජීවිතයට කිසිදු බලපෑමක් එල්ල නොවිය යුතු බව ජනාධිපතිතුමා අවධාරණය කර තිබේ.

මහජන සේවාවන් අඩාලවීමට ඉඩ නොතැබීමේ වගකීම් නිසි ලෙස
ඉටුකරන්නැයි ද ජනාධිපති සියලූ රාජ්‍ය නිලධාරින්ගෙන් ඉල්ලා ඉල්ලා ඇත.

සිරිසේන මහතා මේ ඉල්ලීම සිදු කර තිබුණේ ඊයේ (30) පස්වරුවේ කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගනයේ පැවති සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ ස්ථීර පත්වීම් ලිපි ප්‍රදානෝත්සවය අමතමිනි.

විසි හත්දහසකට ආසන්න සමෘද්ධි නිලධාරින්ගේ ජීවන අභිප්‍රාය වූ පූර්ණ විශ්‍රාම වැටුප් සහිත පත්වීම් සිහිනය යථාර්ථයක් බවට පත් කරමින් හත්දහසකට ආසන්න පිරිසකට ස්ථීර පත්වීම් ප්‍රදානය කිරීම මෙහිදී සිදු කෙරිණි.

තමන් සියලූ අමාත්‍යාංශ ලේකම්වරු පත් කර ඇත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ජනාධිපතිවරයා වෙත පැවරී ඇති බලතල අනුව බවද ඔහු එහිදී පවසා තිබේ.

එබැවින් එම සියලූ පත්වීම් නීත්‍යනුකූල වන අතර එහි කිසිදු ගැටලූකාරී තත්ත්වයක් නොමැති බවද ජනාධිපතිවරයා කියි සිටී.

රට තුළ කුමන දේශපාලන නොසන්සුතාවයක් ඇති වුව ද සිය අමාත්‍යාංශවල කටයුතු නිසි ලෙස ඉටුකරමින් රටේ සියලූ ක්ෂේත්‍ර යථා පරිදි පවත්වාගෙන යාම අමාත්‍යාංශ ලේකම්වරු ඇතුළු රාජ්‍ය නිලධාරින්ගේ වගකීම බවද ජනාධිපතිවරයා පැවසීය.

අඩු ආදායම්ලාභී පවුල්වල ආර්ථීක සංවර්ධනය ඇති කරමින් රටට ආර්ථීක සමෘද්ධිය උදා කිරීමට සමෘද්ධි ව්‍යාපාරය ද මෙහිදී සිරිසේන මහතා අගය කළේය.


Previous Post Next Post