"රට අස්ථාවර කිරීමේ වගකීම ජනපති බාරගත යුතුයි" - විජිත හේරත්

අගමැතිවරයෙක්, කැබිනට් මණ්ඩලයක් නැති රටක් බවට පත්කර රට අස්ථාවර කිරීම පිළිබඳ වගකීම ජනාධිපතිවරයා බාරගත යුතු යැයි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා  පැවැසීය.

හේරත් මහතා මේ බව පැවසුයේ පැලවත්තේ ජනතා විමුක්ති පෙරමුණු
මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවකදීය.

එහිදී ඒ මහතා මෙසේද පැවසීය.

‘‘ශ්‍රේෂ්ඨාධිකරන තීන්දුව අනුව කලින් යොදාගත් පරිදි ඊයේ පාර්ලිමේන්තුව රැස්වුණා. එහිදී අපි සාමාන්‍ය න්‍යාය පත්‍රය අවසන් වූ පසු පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අත්හිටුවීමේ යෝජනාවක් සම්මත කරගෙන ජනාධිපති හොර පාරෙන් පත් කළ අගමැති ඇතුලු ඇමති මණ්ඩලයට එරෙහි විශ්වාසභංගයක් ඉදිරිපත් කළා. එය විවාද කරන්න තිබු අවස්ථාව මහින්ද පිලේ කණ්ඩායම කෑ ගහලා නැති කරගත්තා. ඊට පස්සේ කතානායකවරයා තීන්දු කළා ඡන්ද විමසන්න. එහෙත් එයටද ඉඩදුන්නේ නැහැ. ඒ නිසා නාමිකව ඡන්ද ගණන් කිරීම නවතා පාර්ලිමේන්තු ස්ථාවර නියෝග 47 අනුව කතානායකවරයාට ලැබී ඇති කටහඬ අනුව ඡන්ද විමසීමේ බලය ක්‍රියාත්මක කළා. ඒ අනුව විශ්වාසභංගය ජයග්‍රහණය කළා. දැන් රටේ අගමැති කෙනෙක්, ඇමති මණ්ඩලයක් නීත්‍යානුකූලව නැහැ. කථානායකවරයා ඊයේ පාර්ලිමේන්තුවේ සම්මත වූ විශ්වාසභංගය ගැන ජනාධිපතිට ලිඛිතව දැනුම් දී නව අගමැතිවරයෙක් ඇතුලු කැබිනට්ටුවක් පත්කරන ලෙස ඉල්ලා තිබෙනවා."

"ජනාධිපති රාත්‍රී නවයට ලියුමක් එවනවා ඒ ලිපිය පිළිගන්නේ නැහැ කියලා. විශ්වාසභංගය ඉදිරිපත් කර තිබෙන්නේ ස්ථාවර නියෝගවලට පටහැනිවයි, කථානායක කටයුතු කර තිබෙන්නේත් ස්ථාවර නියෝගවලට පටහැනිවයි කියලා එතුමා කියලා තිබෙනවා. විශ්වාසභංගයේ අත්සන් ලේඛනයේ පාර්ලිමේන්තුවේ නිල මුද්‍රාව තියලා නැතිලු. එහි පැරණි දිනයක් මකලා අලුත් දිනයක් දාලාලු. මොනවද මේ දෙකයි පනහේ කතා. ව්‍යවස්ථාව උල්ලංඝනය කළේ ජනාධිපති මිසක් අපි නෙවෙයි. විශ්වාසභංගයක් සම්මත වූ පසු ඒ ගැන ජනාධිපතිට දැනුම් දෙන විට විශ්වාසභංග යෝජනාව සමග අත්සන් ලේඛනය යැවිමේ අවශ්‍යතාවයක් නැහැ. එය යවා තිබෙන්නේ වැඩි හොඳට. ඒ ලේඛනයට පාර්ලිමේන්තුවේ නිල මුද්‍රාවක් කිසිසේත්ම අවශ්‍ය වන්නේ නැහැ. අත්සන් ලේඛනය කවදාද ගත්තේ කියන එකත් වැදගත් නැහැ. විශ්වාසභංගය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ ඊයේ වුණත් එයට ඊට පෙර අත්සන් ලබාගන්න පුලුවන්. ඒ නිසා දින පිළිබඳ ප්‍රශ්නයකුත් මෙහි නිත්‍යානුකූළ බවට බලපාන්නේ නැහැ. මෙයින් සිදුවන්නේ රට අස්ථාවර වීම පමණයි." යැයිද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

Previous Post Next Post