අඩු පීඩනය නිසා අදත් වැසි

දිවයින ආසන්නයේ පවතින අඩු පීඩන තත්ත්වයේ බලපෑම හේතුවෙන් උතුරු, නැගෙනහිර සහ උතුරු-මැද පළාත්වල සහ දිවයින අවට මුහුදු ප්‍රදේශවල දැනට පවතින වැසි තත්ත්වය සහ අහස වලාකුලින් බර ස්වභාවය, තවදුරටත් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මඟින් මේ සම්බන්ධව නිකුත් කරන
ඉදිරි නිවේදන පිළිබඳ අවධානය යොමුකරන ලෙස මහජනතාවගෙන් සහ ධීවර සහ නාවුක ප්‍රජාවගෙන් ඉල්ලා සිටියි.

දිවයින හරහා, විශේෂයෙන්ම දිවයිනේ උතුරු අර්ධය හරහා හමන පැ.කි.මී. 40-50 දක්වා තරමක් තද සුළං බලාපොරොත්තු විය හැකි බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

උතුරු, නැගෙනහිර සහ උතුරු-මැද පළාත්වල තරමක ශීත කාලගුණ තත්ත්වයක් අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නිවේදනයේ දැක් වෙයි.

උතුරු, නැගෙනහිර, උතුරු-මැද, වයඹ, මධ්‍යම සහ ඌව පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන අතර ඇතැම් ස්ථාන වලට මි. මී. 100 ක පමණ තද වැසි ඇති විය හැකි බව එම දෙපාර්තමෙන්තුව පවසයි.

දිවයිනේ සෙසු ප්‍රදේශවල, විශේෂයෙන්ම සවස 2.00 න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නිවේදනයේ සඳහන් කරයි.

මේ අතර මධ්‍යම සහ සබරගමුව පළාත්වල සමහර ප්‍රදේශවල උදෑසන කාලයේදී මීදුම් තත්ත්වයක් ඇති විය හැක.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටියි.



Previous Post Next Post