"ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සිංහල සහ ඉංග්‍රීසී පිටපත් අතර බරපතළ පරස්පරතාවක් තියෙනවා" - ගම්මන්පිල සියල්ල හෙළි කරයි

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සිංහල සහ ඉංග්‍රීසී පිටපත් අතර බරපතළ පරස්පරතාවක් ඇති බවත් , රනිල් වික්‍රමසිංහ මහතාට අගමැති ධුරය අහිමිවීම වලංගු ව්‍යවස්ථාව අනුව නීත්‍යානූකූලයව සිදු වූවක් බවත් පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි.

පෙරේදා (30) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඒ මහතා මේ
බව සඳහන් කළේය.

රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් කිරීම ව්‍යවස්ථා විරෝධි ක්‍රියාවක් නම් ඊට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමේ හැකියාව ඔහුට පවතින බව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.

එහිදී ඒ මහතා මෙසේ ද අදහස් දැක්විය.

"ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ සිංහල පිටපතයි, ඉංග්‍රීසි පිටපතයි අතර බරපතළ වෙනසක් තියනවා. 48 (1) වගන්තියේ කියනවා පාර්ලිමේන්තුව විසුරුවා හරිනු ලැබීමත්, මහා මැතිවරණය අවසන් වීමත් අතර කාලය තුළ හැර ධුරයෙන් ඉවත් කරනු ලැබීමෙන් හෝ ඉල්ලා අස්වීමෙන් හෝ අන්‍යාකාරයෙන් හෝ අග්‍රාමාත්‍ය ධුරය දැරීම නතර වූ විට පටන් ගන්නේ මොකෙන්ද? ධූරයෙන් ඉවත් කරනු ලැබීමෙන් හෝ එතකොට 48 (1) වගන්තියේ ජනාධිපති වලට බලය දීලා තියෙනවා ධුරයෙන් ඉවත් කරන්න. රනිල් වික්‍රමසිංහ මහත්තයා එදිනෙදා පරිශීලනය කරන ඉංග්‍රීසි පිටපතේ කොහොමද මේක ලියලා තියෙන්නෙ? අගමැතිවරයාගේ මරණය, ඉවත් වීම හෝ අන්‍යාකාරයකින් අගමති ධුරයේ කටයුතු කිරීම නතර වූ විට, අතන තිබ්බේ මොකක්ද? ධුරයෙන් ඉවත් කිරීම ඉවත්වීම සහ අන්‍යාකාරයෙන්. ඉංග්‍රීසි එකේ ඉවත් කිරීම වෙනුවට තියෙන්නේ මරණය. මේ ලෝකේ කිසිම රටක අග්‍රාමාත්‍ය ධූරය මිය ගිය හොල්මනක් කටයුතු කරලත් නැහැ, කරන එකකුත් නැහැ. එහෙනම් ඒක අදාලම නැත."

"සිංහල පිටපතේ ඉවත් කරන්න පුළුවන් කියලා තියෙනවා, ඉංග්‍රීසි පිටපතේ ඒක නැහැ. ඉංග්‍රීසි පිටපත කියවන රනිල් වික්‍රමසිංහ මැතිතුමා හිතාගෙන ඉන්නවා ජනාධිපතිතුමාට එතුමාව ඉවත් කරන්න බැහැ කියලා. ඉංග්‍රීසි පිටපතේවත්, දෙමළ පිටපතේවත් තියෙන දේ නෙවෙයි වැදගත් වෙන්නේ සිංහල පිටපතේ කුමක්ද තියෙන්නේ කියලා. ඊට පස්සේ වුණත් සිංහලයි, දෙමලයි අතර අනනුකුලතාවයක්, නොගැලපීමක් ඇති වුනොත් බලපවතින්නේ සිංහල පිටපත. මේ ක්‍රම දෙකෙන්ම බැලුවත් රනිල් වික්‍රමසිංහ මැතිතුමාට අග්‍රාමාත්‍ය ධූරය අහිමි වීම නිත්‍යානුකූලයි. 2018 ඔක්තෝම්බර් 26 වෙනිදා උදේ මුළු රට පුරාම ව්‍යාප්ත වෙලා තියෙන එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව අද අරලියගහ මන්දිරයට පසු බැහැලා තියෙනවා.”යැයිද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

Previous Post Next Post