පාර්ලිමේන්තුව කැඳවීම ජනපති දින 2කින් ඉදිරියට ගනියි !

පාර්ලිමේන්තුව එළඹෙන 14 වැනිදා පෙරවරු 10.00ට යළි කැඳවන බව අතිවිශේෂ ගැසට් නිවේදනයක් මගින් රජය ඊයේ (04) රාත්‍රියේ ප්‍රකාශයට පත් කළේය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 වැනි ව්‍යවස්ථාවේ (3) (i) අනුව්‍යවස්ථාවෙන්
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට පැවරී තිබෙන බලතල අනුව මෙම ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.

ලබන 16 වැනිදා පාර්ලිමේන්තුව කැඳවන බවට ජනාධිපතිවරයා විසින් මීට පෙර ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත් කර තිබුණි.

අද (05දා) පාර්ලිමේන්තුව කැඳවන බවට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පසුගිය බ්‍රහස්පතින්දා ප්‍රකාශ කළ අතර ඉකුත් 02 වැනිදා පාර්ලිමේන්තුවේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී කථානායක කරු ජයසූරිය මහතා සඳහන් කළේ 07 වැනිදා පාර්ලිමේන්තුව කැඳවන බවයි.

කෙසේ වෙතත් 16 වැනිදාට පෙර පාර්ලිමේන්තුව කැඳවන ලෙස එක්සත් ජාතික පෙරමුණ, ජනතා විමුක්ති පෙරමුණ, ද්‍රවිඩ ජාතික සංවිධානය, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය ඇතුළු විවිධ පක්ෂ හා සිවිල් සංවිධාන ගණනාවක් කථානායකවරයාගෙන් හා රජයෙන් ඉල්ලා තිබුණි.

පාර්ලිමේන්තුව යළි කැඳවන දිනය සම්බන්ධව ආණ්ඩු පක්ෂය සමග ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දීර්ඝව සාකච්ඡා කර තිබුණු අතර නව රජය විසින් සකස් කරන අතුරු අයවැය ඉදිරිපත් කිරීමට හා අමාත්‍යාංශ ඇතුලු රාජ්‍ය ආයතන සඳහා පත් කිරීම් සිදුකිරීමට කාලය අවශ්‍ය බවට ආණ්ඩු පක්ෂයේ ප්‍රධානීන් විසින් ජනාධිපතිවරයාට කරුණු පෙන්වා දෙන ලදී.

මේ අතර ඉකුත්දා කථානායක කරු ජයසූරිය මහතා සමග පැවති සාකච්ඡාවකදී පාර්ලිමේන්තුව යළි කැඳවන දිනය සම්බන්ධව අවධානය යොමුව තිබුණු බව වාර්තා වෙයි.

මෙම සියලු පාර්ශ්වල කරුණු සැලකිල්ලට ගනිමින්  එළඹෙන 14 වැනිදා පාර්ලිමේන්තුව කැඳවීමට මෛත්‍රීපාල සිරිසේන මහතා තීරණය කර ඇති බවද වාර්තා වෙයි.

Previous Post Next Post