අද පස්වරුවේ තීරණාත්මක දේශපාලන සාකච්ඡා දෙකක්

වත්මන් දේශපාලන අර්බුදය සම්බන්ධයෙන් තීරණාත්මක සාකච්ඡා දෙකක් අද (30) පස්වරුවේ පැවැත්වෙනවා. ඒ, එක්සත් ජාතික පෙරමුණේ හා දෙමළ ජාතික සන්ධානයේ නියෝජිතයින් සහ ජනාධිපතිවරයා අතරයි. ඒ අනුව පළමු සාකච්ඡාව දෙමළ ජාතික සන්ධානයේ නියෝජිතයින් හා ජනාධිපතිවරයා අතර සිදුවනු ඇති. ඒ, පස්වරු 6 ටයි. රාතී‍්‍ර 7 ට එක්සත් ජාතික පෙරමුණේ නියෝජිතයින් ජනාධිපතිවරයා මුණ ගැසීමටයි
නියමිතව ඇත්තේ. මෙම සාකච්ඡා වට දෙකම සිදුවන්නේ ජනාධිපතිවරයා සහ කතානායකවරයා අතර ඊයේ පස්වරුවේ ඇතිකර ගත් එකඟතාවන්ට අනුවයි.

එක්සත් ජාතික පෙරමුණේ ආණ්ඩුවක් බිහි කිරීමට සිය සහාය ලබාදෙන බව දෙමළ ජාතික සන්ධානය ඊයේ පස්වරුවේ නිල වශයෙන් ප‍්‍රකාශයට පත් කළා. ඒ අනුව තම කණ්ඩායමට පාර්ලිමේන්තුවේ මන්තී‍්‍රවරුන් 117කට වඩා වැඩි පිරිසක් සිටින බවයි එක්සත් ජාතික පෙරමුණ කියාසිටියේ.

පාර්ලිමේන්තුවේ බහුතරය හිමි කණ්ඩායමකට ආණ්ඩුවක් පිහිටුවීම සදහා අවස්ථාව ලබාදිය යුතු බව ආණ්ඩු පක්‍ෂය වෙනුවෙන් ඊයේ පාර්ලිමේන්තු රැස්වීමට එක්වූ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්‍ෂද ප‍්‍රකාශ කළා.


Previous Post Next Post