පහෙන්-තුනේ කතාවට රන්ජන්ට නඩුවක්

පාර්ලිමේන්තුව විසුරුවා හැරීම පිළිබඳ පෙත්සම් විභාග කරන ශේ‍ර්ෂ්ඨාධිකරණ විනිශ්චය මණ්ඩලය ගැනත්, ලබාදීමට යන තීන්දුව ගැනත් හිටපු නියෝජ්‍ය ඇමැති රන්ජන් රාමනායක මහතා 'දෙරණ' වාදපිටිය දේශපාලන වැඩසටහනට සහභාගි වෙමින් කළ ප්‍රකාශය ශේ‍ර්ෂ්ඨාධිකරණයට කළ නින්දිත අපහාසයක් බැවින් ඔහුට විරුද්ධව නඩුවක් ගොනු කරන්න බලාපොරොත්තු වන බව 'පිවිතුරු හෙළ
උරුමයේ' නායක ඇමැති උදය ගම්මන්පිල මහතා ප්‍රකාශ කරයි.

'ත්‍රීබෙන්ච් අධිකරණයෙන් දැනට තහනම් නියෝගයක් ලබාදී තිබෙනවා. දැන් ආරංචියක් යනවා පහට යන බව. පහෙන් තුනක් මෙහාට. දෙකක් එහෙට. ඒ නිසා තීන්දු වෙනසක් වෙන්නේ නෑ'යි රන්ජන් රාමනායක මහතා වාදපිටිය වැඩසටහනේදී ඔහුගේ වචනවලින්ම මෙසේ ප්‍රකාශ කර තිබෙන බව සඳහන් කළ ගම්මන්පිල ඇමැතිවරයා පාර්ලිමේන්තුව විසුරුවා හැරීම පිළිබඳ පෙත්සම් විභාග කරන්නේ පංච පුද්ගල විනිසුරු මඬුල්ලක් කියලා එජාපය කලින්ම දන්නේ කොහොමද? එයින් තුන්දෙනකු තම පැත්තට නිසා ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල දුන් තීන්දුව වෙනස් වෙන්නේ නෑ කියා ප්‍රකාශ කරන්නේ කොහොම දැයි ප්‍රශ්න කළේය.

රන්ජන් රාමනායක මන්ත්‍රිතුමාගේ මේ ප්‍රකාශයත් සමඟ ශේ‍ර්ෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ ආගමික විශ්වාස, විවාහ සබඳතා, දරුවන්ට රැකියා ලැබුණු අයුරු වැනි විවිධ කාරණා පිළිබඳ ඉතිහාසයේ නොවූ විරූ අයුරින් සමාජ ජාලා තුළ සංවාදයක් මතු වී තිබෙන බවත් නීතියේ ආධිපත්‍යය රැකගන්නට නම් අධිකරණය පිළිබඳ ජනතාවගේ විශ්වාසය රැකගන්න ඕනෑ බවත්, අධිකරණය මොන තීන්දුවක් දුන්නත් එය නොපිළිගනිමින් රට පුරා කැරලිකාරී තත්ත්වයක් ඇති වීමේ අවදානමක් රන්ජන් රාමනායක මන්ත්‍රිවරයා විසින් ඇති කර තිබෙන බවත්, ඇමැති ගම්මන්පිල මහතා පැවැසුවේ ඊයේ පැවැති 'පිවිතුරු හෙළ උරුමය' මාධ්‍ය සාකච්ඡාවේදීය.

සමස්ත ශේ‍ර්ෂ්ඨාධිකරණයම වාඩි වන විනිසුරු මඬුල්ලක් ඉදිරියේ මෙම නඩුව විභාගයට ගන්නා ලෙස ගම්මන්පිල ඇමැතිවරයා ශේ‍ර්ෂ්ඨාධිකරණයෙන් ඉතාම ගෞරවයෙන් ඉල්ලා සිටින බවද කීය.

Previous Post Next Post