රිය අනතුර කළ වෛද්‍යවරිය කළුබෝවිලෙන් ජාතික රෝහලට

පැපිලියාන ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරකින් පොලිස්‌ පරීක්‍ෂකවරයකු මියගොස්‌ ඔහුගේ බිරිඳ සහ දරු දෙදෙනා තුවාල ලැබූ සිද්ධියට අයත් විශේෂඥ වෛද්‍යවරිය කළුබෝවිල රෝහලේ සිට (23 දා) කොළඹ ජාතික රෝහලට මාරුකර තිබේ.

පසුගිය සැප්තැම්බර් මස 30 වැනිදා පැපිලියාන වික්‍රමරත්න මාවත අසලදී පොලිස්‌ පරීක්‍ෂකවරයා පදවාගෙන පැමිණි මෝටර් රථය සහ රත්නපුර රෝහලේ විශේෂඥ වෛද්‍යවරිය පදවාගෙන පැමිණි
සුඛෝපභෝගි ජීප් රථය මධ්‍යම රාත්‍රී 12.45 ට පමණ අනතුරට ලක්‌වී තිබිණි.

අනතුරින් පොලිස්‌ පරීක්ෂකවරයා මියගොස්‌ ඔහුගේ බිරිඳ සහ දරු දෙදෙනා තුවාල ලබා තිබිණි. අනතුරෙන් පසු වෛද්‍යවරියද කළුබෝවිලට රෝහලට ඇතුළත් වී තිබිණි.

අනතුර සම්බන්ධයෙන් පොලිසිය ගංගොඩවිල අධිකරණයට කරුණු ඉදිරිපත් කිරීමෙන් පසු අවස්‌ථා දෙකකදී වෛද්‍යවරිය අධිකරණය හමුවේ පෙනී නොසිටි අතර අධිකරණය මගින් ඇය අවස්ථා දෙකේදීම බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කර තිබිණි.

මෙම නඩුව මෙම මස 30 වැනිදා නැවත අධිකරණය හමුවේ විභාග වීමට නියමිතය. විශේෂඥ වෛද්‍යවරිය කළුබෝවිල රෝහලේ සිට ජාතික රෝහලට ඇතුළත්වී සිටින බවත් ඇය අංක 80 වාට්‌ටුවේ සිටින බවත් රෝහල් ආරංචිමාර්ග සඳහන් කරයි.

වෛද්‍යවරිය ජාතික රෝහලට ඇතුළත්වීම සම්බන්ධයෙන් "දිවයින" පුවත්පත කළ විමසීමකදී එම රෝහලේ අධ්‍යක්‌ෂ කුමාර වික්‍රමසිංහ මහතාගෙන් කළ විමසීමේදී ඒ මහතා පවසා ඇත්තේ ලෙඩ්ඩු ඇවිත් වාට්‌ටුවල නතරවන බවත් ඒ සම්බන්ධයෙන් තමාට කිසිවක්‌ ප්‍රකාශ කළ නොහැකි බවත්ය.



Previous Post Next Post