2018 අයවැය පොරොන්දුවලින් ඉටු කර ඇත්තේ 8%යි.

මේ වසර (2018) සඳහා ඉදිපත් කළ වාර්ෂික අයවැය ලේඛනයේ පොරොන්දුවලින් සතුටුදාක ලෙස සම්පූර්ණ කර ඇත්තේ 8%ක ප්‍රමාණයක් පමණක් බවත් ඉතිරි තවත් පොරොන්දු 33%ක් අතහැර දැමීම, නොසලකා අහැරීම හෝ තොරතුරු හෙළි නොකිරීම යන ගණයට වැටෙන බවත් වෙරිටේ රිසච් ආයතනයේ 2018 ඔක්තොම්බර් 16 දින නිකුත් කර
ඇති වාර්තාවේ සඳහන් වේ.

එම 33%ක් වූ යෝජනා අතහැර දමා, නොසලකා හෝ තොරතුරු හෙළිකර නැති යෝජනා 33% අදාලව වෙන් කර ඇති මුදල රපියල් මිලියන 60,200කි.

2018 අයවැය යෝජනාවලින් 59%ක්ම ක්‍රියාත්මක වන්නේ ඉතාමත් මන්දගාමී ලෙස බවද එම වාර්තාව අනාවරණය කරයි.

තොරතුරු දැනගැනීමේ පනත ක්‍රියාත්මක වුවද එම පනත යටතේ, 2017, 2018 අයවැය යෝජනා ක්‍රියාත්මක වීමේ ප්‍රගතිය පිළිබඳ ඒ ඒ ආයතනවලින් විමසීමේදී අදාළ තොරතුරු ලබාදීමට මැලිකමක් දක්වා ඇති බවත් මෙම වාර්තාවෙන් අනාවරණය වේ.

තොරතුරු දැනගැනීමේ පනත යටතේ විශේෂයෙන් මුදල් අමාත්‍යාංශය එකම කරුණක් ගැන පරස්පර තොරතුරු ලබාදී ඇති බවද මෙම වාර්තාවෙන් හෙළි වේ.

එනම් 2018 අයවැය කථාව මගින් මුදල් අමාත්‍යවරයා වසින්, අයවැය යෝජනා ක්‍රියාත්හක කිරිම සහ අධීක්ෂණය කිරීම සඳහා ඒකකයක් මුදල් අමාත්‍යාංශය යටතේ පිහිටුවන බවට නිවේදනය කළද මෙම පොරොන්දුව පිළිබඳව තොරතුරු දැන ගැනීමේ පනත යටතේ කළ ඉල්ලීමට මුදල් අමාත්‍යාංශය පිළිතුරු ලෙස පවසා ඇත්තේ එවැනි ආයතනයක් පිහිටුවා නැති බවය.

එහෙත් වෙනත් අයවැය පොරොන්දුවක් සම්බන්ධයෙන් තොරතුරු දැන ගැනීමේ පනත යටතේ කළ ඉල්ලීමට මුදල් අමාත්‍යාංශය පිළිතුරු ලෙස පවසා ඇත්තේ අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීම සහ අධීක්ෂණය කිරීම සඳහා ඒකකයක් මුදල් අමාත්‍යාංශය යටතේ පිහිටුව ඇති බවය.

ක්‍රියාත්මක වන අයවැය යෝජනා සහ යෝජිත අයවැය යෝජනා අතර සැලකිය යුතු නොගැලපීම් ඇති වීම සහ මහජන මුදල් වියදම් වන ආකාරය පිළිබඳව ආණ්ඩුවට පූර්ණ දැනුමක් නොමැති වීම යන ප්‍රධාන ගැටළු දෙක මෙම වාර්තාව මගින් ඉස්මතු කර ඇත.

Previous Post Next Post