ලංකාවේ ක්‍රිකට් ගොඩගන්න ඉන්දියාවේ සහය

බුකී සහ ඔට්ටු ව්‍යාපාරය නිසා ශ්‍රී ලංකා ක්‍රිකට්වල ඇතිවී තිබෙන දූෂණය සහ වංචාව තුරන් කිරීමට තම පූර්ණ සහාය ලබා දීමට ඉන්දියාව කැමැත්ත ප්‍රකාශ කළ බව හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක, අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි.

ඊයේ (22) පැවැති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියකු නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු වැඩිදුරටත් කියා සිටියේ පසුගියදා පැවැත්වුණු ඉන්දීය
සංචාරයේදී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේද්‍ර මෝදි මහතා සමඟ ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවේ වත්මන් අර්බුදය ගැන සාකච්ඡා කිරීමේ අවස්ථාව තමන්ට උදා වූ බවයි.

පසුගියදා පැවැත්වුණු ඉන්දු - ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරුන්ගේ නිල හමුවට ශ්‍රී ලංකාවෙන් එක් වූ දූත කණ්ඩායමෙහි අමාත්‍ය අර්ජුන රණතුංග මහතාද විය.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ එම සංචාරය අතරතුරදී මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ දූෂණය සහ වංචාව තුරන් කිරීමට ඉන්දීය සහාය ලබා ගැනීම ගැන විශේෂ අවධානයක් යොමු වූ බවයි.

අමාත්‍යවරයා පැවසුවේ අගමැතිවරයා සහ තමන් ඉන්දීය අගමැතිතුමාගෙන් ඒ සම්බන්ධයෙන් ඉල්ලීමක් කළ බවයි.

ඉන්දියාවේ තිබේන සී. බී. අයි  ( Central Bureau of Investigation - CBI ) ආයතනය විසින් එරට වු තරග පාවා දීම් බොහොමයක් අනාවරණය කර ගත් අතර ඒ අනුව වැරදිකරුවන් නීතියේ රැහැනට කොටු කර ගැනීමට හැකි විය.

ඒ හරහා බොහෝ අයට තරග තහනම් පවා පැන වු බවත් ඒ අනුව ඉන්දියාවේ එම පරිණතබව ලංකාවටත් ලබා දෙන ලෙස තමන් ඉන්දීය අගමැතිතුමාගෙන් ඉල්ලා සිටි බවද අමාත්‍යවරයා පවසයි.

එහිදී මෝදි රජයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයකු වූ අරුන් ජෙට්ලි (Arun Jaitley) සමඟ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ වත්මන් අර්බුදය ගැනද අමාත්‍යවරයා දීර්ඝව සාකච්ඡා කර ඇත.

Previous Post Next Post