ආණ්ඩුව දණගස්සන ජවිපෙ අද කොළඹට

වත්මන් ආණ්ඩුවේ මෛත්‍රි - රනිල් නායකත්වයේ හිස ගසා දමා ඉදිරියට යා යුතු පළමු පියවර අද (23දා) කොළඹින් අරඹන බව ජනතා විමුක්ති පෙරමුණ දේශපාලන මණ්ඩල සභික ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සභාපති කේ.ඩී. ලාල්කාන්ත මහතා පවසයි.

ජවිපෙ අද කොළඹින් අරඹන 'ජන පීඩක ආණ්ඩුවට එරෙහි ජනතා
විරෝධය' ඉදිරියටත් ගෙන යමින් ආණ්ඩුවේ නායකත්වය නිමා කිරීමට කටයුතු කරන බව ලාල්කාන්ත මහතා කීය.

මෙම ජනතා ද්‍රෝහී ආණ්ඩුව දණ ගැස්විය යුතු බවත් ඒ දණ ගැස්වීමේ පළමු වගකීම ඇත්තේ 2015 ජනවාරි 8දා රාජපක්ෂ ප්‍රභූ තන්ත්‍රයට එරෙහිව පෙළ ගැසුණු ජනතාවට බවත් ඔහු පැවසිය.

එමෙන්ම ජනපති මෛත්‍රිත් අගමැති වික්‍රමසිංහත් තේරුම් ගත යුතු මූලික කරුණ වන්නේ ඔවුන්ට ඡන්දය දුන් ජනතාව අද ඔවුන්ටම එරෙහිව විකල්ප සොයන බව යැයිද ඒ මහතා පෙන්වා දුන්නේය.

එම විකල්ප සොයන සියලු දෙනා අද (23දා) තම විරෝධය පළ කිරීමට කොළඹට රැස්වන ලෙසද හෙතෙම වැඩිදුරටත් ඉල්ලා සිටියේය.

බඩුමිල වැඩිකරමින්, ජනතාව පිට බදු බර පටවමින්, දිනෙන් දින ජනතාව පීඩනයට පත් කිරීමට එරෙහිව අද කොළඹදී පවත්වන ජනතා විරෝධය සඳහා සියලු දෙනාට ආරාධනා කරන බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා ජවිපෙ ප්‍රධාන කාර්යාලයේ ඊයේ (22) පැවති මාධ්‍ය හමුවක් කියා සිටියේය.


Previous Post Next Post