අනුරුද්ධ පාදෙණියට එරෙහි පැමිණිල්ල විභාගය දින දෙයි

අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා එල්ල වී සිටින රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතාට එරෙහිව ඉදිරිපත් කර තිබෙන පැමිණිල්ල මාර්තු මස 02 වනදා කැඳවන මෙන් අභියාචනාධිකරණය නියම කළේය.

සිවිල් සංවිධාන ක්‍රියාකාරිකයන් දෙදෙනෙකු වන  මහාචාර්ය සරත් විජේසූරිය සහ ගාමිණී වියන්ගොඩ
යන මහත්වරු විසින් අදාළ පැමිණිල්ල ඉදිරිපත් කර තිබුණි.

එම පැමිණිල්ල අද(18) අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන සහ අර්ජුන ඔබේසේකර යන විනිසුරු මඩුල්ල හමුවේ කැඳවනු ලැබුවේය.

එහිදී විනිසුරුවරු නියෝග කර සිටියේ අදාළ පැමිණෙන්න මාර්තු මස දෙවන දා විභාගයට ගන්නා බවයි.

පැමිණිලිකරුවන් අභියාචනාධිකරණය හමුවේ කියා සිටින්නේ  රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය මහතා සයිටම් නඩු තීන්දුව සම්බන්ධයෙන් විවේචනාත්මක ප්‍රකාශයක් කොළඹ පැවැත් වූ මහජන රැස්වීමක දී සිදුකර ඇති බවයි.

ඒ තුළින් වෛද්‍ය පාදෙණිය අධිකරණයට අපහාසයක් සිදු කර ඇති බව පෙන්වාදෙන පැමිණිලිකරුවන් ඒ වෙනුවෙන් විභාගයක් පවත්වා ඔහුට සුදුසු දඬුවම් පමුණුවන මෙන් ද අභියාචනාධිකරණයෙන් ඉල්ලා තිබේ.

Previous Post Next Post