උසස් පෙළ සිසුන්ට සහ ගුරුවරුන්ට ටැබ් පරිගණක ලබාදීමේ කාර්යය තාවකාලිකව නතර කළද, එය ඉදිරියේදී අනිවාර්යයෙන්ම සිදු කරන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය.
රටේ දේශපාලන අධිකාරියට එම කාර්යය තාවකාලිකව හෝ නවතා දැමීමට සිදු වූයේ ඒ පිළිබඳ විවිධ පාර්ශ්ව විසින් පටු දේශපාලනික අරමුණු
මත පදනම්ව විවේචන එල්ල කිරීම හේතුවෙන් බවද හෙතෙම පවසා සිටියේය.
අමාත්‍යවරයා මේ බව පවසා සිටියේ ඊයේ (28දා) අධ්‍යාපන අමාත්‍යාංශයේදී පැවැති අධ්‍යාපන පරිපාලන සේවයේ iii වැනි ශ්‍රේණියට සීමිත තරග විභාගයෙන් සුදුසුකම් ලැබූ නිලධාරීන් 104 දෙනෙකු සඳහා පත්වීම් ලිපි ප්‍රදානය කිරීමේ උත්සවයට එක්වෙමිනි.
ශීඝ්‍රයෙන් වෙනස් වන ලෝකයේ, ශීඝ්‍රයෙන් වෙනස් වන අධ්‍යාපන ක්‍රමවේදවලට අනුව මෙරට අධ්‍යාපනයද දියුණු කර රටේ අනාගත පරපුර අනාගත අභියෝග සඳහා සූදානම් නොකරන්නේ නම්, ඔවුන් ඒ පිළිබඳ නියත වශයෙන්ම වත්මන් අධ්‍යාපන බලධාරීන් වෙත අනාගතයේදී දොස් පවරනු ඇති බව ද අමාත්‍යවරයා මෙහිදී පැවසීය.
තවත් වසර කිහිපයකින් මෙරට තුළ නිර්මාණය වන්නේ නවතම රැකියා ධාරාවක් බැවින් එම රැකියා ධාරාවලට අනුකූලව රටේ වත්මන් අධ්‍යාපන ක්‍රමවේදයද වෙනස් විය යුතු බවත්, ඒ අනුව තොරතුරු තාක්‍ෂණ විෂයය සිසුන් වෙත අනිවාර්යය කිරීමට සහ එම විෂයය සිසුන් වෙත තවදුරටත් සමීප කරවීමට නව තාක්‍ෂණික උපකරණ සිසුන්ගේ අධ්‍යාපන ක්‍රමවේදයට බද්ධ කරවීමේ සැලසුම්ද සකස් වෙමින් පවතින බවත් අධ්‍යාපන අමාත්‍යවරයා පවසා සිටියේය.
සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ විවිධ පිරිස් ගෙන යන ඇතැම් දේශපාලනික ප්‍රචාරවලට ඕනෑම යහපත් දෙයක් අයහපත් දෙයක් බවට පත්කිරීමට පවා වර්තමානයේදී හැකි වී ඇති බවත්, ඇතැම් පිරිස් උසස් පෙළ සිසුන්ට සහ ගුරුවරුන්ට ටැබ් පරිගණක ලබාදීමේ කාර්යයද අවියක් කරගෙන සමාජ ජාල ඔස්සේ අසත්‍යය ප්‍රචාර ගෙන යමින් සිය පටු දේශපාලනික අරමුණු මුදුන් පමුණුවා ගැනීම සඳහා ඊට දැඩි ලෙස පහර එල්ල කළ බවත් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
මේ අවස්ථාවට අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය වී. රාධක්‍රිෂ්ණන්, අතිරේක ලේකම් හේමන්ත ප්‍රේමතිලක සහ අතිරේක ලේකම් සේනානි හේවගේ යන මහත්වරු ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.
ටැබ් ලබාදීම අනිවාර්යයෙන්ම : අකිලගෙන් ජනපතිට අභියෝගයක්?
2018-03-01T09:06:00+05:30
Gossip Lanka Hot News
slide|