අප්‍රේල් 25 මැතිවරණය පවත්වන්නේ නැහැ - මැතිවරණ කොමිසම

පවත්නා තත්ත්වය මත පාර්ලිමේන්තු මහ මැතිවරණය අප්‍රේල් මස 25 වෙනිදා පැවැත්වීමට නොහැකි බව මැතිවරණ කොමිසන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය ප්‍රකාශ කර සිටිනවා. මහ මැතිවරණය පැවැත්වෙන දිනය කොරෝනා වෛරසය මැඩලීම සඳහා පත් කර ඇති කාර්ය සාධක බලකායේ උපදෙස් මත ඉදිරියේදි දැනුම්දෙන බව මැතිවරණ කොමිසමේ සභාපතිවරයා වැඩිදුරටත් මෙහිදී සඳහන් කළා.


අප්‍රේල් මස 25 වෙනිදා සිට දින 14ක කාලයක් ඔබ්බට යන තෙක් මැතිවරණය පැවැත්වීමට නියමිත දිනය ප්‍රකාශයට පත් කර නොහැකි බවද මෙහිදී මැතිවරණ කොමිසන් සභාවේ සභාපතිවරයා කියා සිටියා.

මැතිවරණය කල් දැමීම කිසිවෙකුගේ උවමනාව මතසිදු නොවූ බවත් එය සම්පුර්ණයෙන් කොරෝනා වෛරසය හේතුවෙන් ජන්දය කල් දැමීමට සිදුවන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කලේ.

නාම යෝජනා පත්‍ර සැලකිය යුතු සංඛ්‍යාවක් ප්‍රතික්ෂේපවී ඇති බව මැතිවරණ කොමිසන් සභාවේ සභාපතිවරයා කියා සිටිනවා.

රුපියල් 2000 ක ඇප මුදලින් මන්ත්‍රීවරයෙක් ලෙස පාර්ලිමේන්තුවට යාමට හැකි බවට ඇතැම් අපේක්ෂකයින් සිතා සිටියත් අවම වශයෙන් ඇතැම් දිස්ත්‍රික් සඳහා සියයට 5 ක ජන්ද ප්‍රතිශතයක් ලබා ගත යුතු බව කියා සිටියා.

ඇතැම් දිස්ත්‍රික් සඳහා නාම යෝජනා පත්‍ර 50 කට අධික සංඛ්‍යාවක් ලැබී ඇති බව පැවසූ මැතිවරණ කොමිසමේ සභාපතිවරයා නාම යෝජනා සම්බන්ධයෙන් අවසන් ගණනයක් මේ වන විට ප්‍රකාශ කිරිමට නොහැකි බව කියා සිටියා.
Previous Post Next Post