ලක්ෂ 221ක් ගෙවා විදේශ සේවා සභාපතිට ජගුවරයක් අරං !

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපතිවරයා වෙනුවෙන් ගෙන්වන ලද ලක්ෂ 221ක් වටිනා ජගුවර් වර්ගයේ වාහනය පාවිච්චියෙන් තොරව කාර්යාංශයේ ගාල්කොට ඇතැයි වාර්තා වේ.

ඒ වෙනුවෙන් මසකට ලක්ෂ 04ක වාරික මුදලක් ගෙවිය යුතු බව පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුව හමුවේ අනාවරණය වී තිබේ.


ජගුවර් වැනි ඉතා මිල අධික වාහනයක් තමාට පාවිච්චි කළ නොහැකි බව විදේශ සේවා නියුක්තියේ වත්මන් සභාපතිවරයා කෝප් කමිටුව හමුවේ පවසා ඇතැයි වාර්තාවේ.

එය විදේශ අමාත්‍යාංශයට හෝ මහා භාණ්ඩාගාරයට ලබාදී ඒ වෙනුවෙන් වෙනත් රථයක් හෝ දෙකක් ලබා ගැනීමට බලාපොරොත්තු වන බවද ඔහු එහිදී සඳහන් කර තිබේ.

රක්ෂණ මගඩියකුත් හෙළි වෙයි

විදේශ සේවා නියුක්ති කාර්යංශය විසින් විදේශ ශ්‍රමිකයින් සඳහා රක්ෂණාවරණ ලබා දීම සඳහා විදේශ සමාගමක් සමඟ ගිවිසුම් ගත විමේ දී සිදු වී ඇති අක්‍රමිකතාවක් පිළිබඳ එහිදී අවධානය යොමුව තිබුණි.

මෙම රක්ෂණාවරණය මඟින් විදේශ ශ්‍රමිකයින්ට නිසි ප්‍රතිලාභ ලැබී නොමැති බව කෝප් කමිටු සභාපති සුනිල් හඳුන්තෙත්ති මන්ත්‍රීවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

එහිදී ඒ මහතා පවසා සිටියේ සමාගමට එක් සේවකයෙක් වෙනුවෙන් ඩිනාර් 26 ක් ලැබී ඇති බවය.
Previous Post Next Post