අජිත් පී පෙරේරා සහ ෆොන්සේකා එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් ඉවත් කරයි

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අජිත් පී. පෙරේරා සහ ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් ඉවත්කීරීමට තීරණය කර ඇති බව එම පක්ෂ ආරංචි මාර්ග සඳහන් කළා.

මෙම දෙදෙනා කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් ඉවත් කිරිමට තීරණය කර ඇත්තේ එක්සත් ජාතික පක්ෂයේ සාමුහික විනය කඩකිරීමේ චෝදනාව මත බවයි වාර්තාවන්නේ.
එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ නිල කාලය පසුගිය දෙසැම්බර් 31 වනදායින් අවසන් වූ අතර, අලූත් සාමාජිකයින් පත් කිරීමෙන් පසු අද පස්වරු 3 ට සිරිකොත පක්ෂ මූලස්ථානයේදී නව කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම පැවැත්වීමට නියමිතයි.

එහිදී පක්ෂ නායකත්වය සම්බන්ධයෙන් පවතින ගැටළුව සහ ඉදිරි දේශපාලන කටයුතු සම්බන්ධයෙන් සාකච්ජා කරනු ඇති.

මේ අතර, විපක්ෂ නායක කාර්යාලයේ  ඊයේ පැවති මාධ්‍ය හමුවකදී පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ කියා සිටියේ ඉදිරියේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ නායකත්වයෙන් සහ නව ලාංඡනයක් යටතේ ගොඩනගන සන්ධානයක් මගින් මැතිවරණයට තරඟ කරන බවයි.

කෙසේ වෙතත් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අතර හමුවක් ඊයේ පස්වරුවේද සිදුවුණා.

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහගේ නිවසේ පැවති හමුව පැය එකහමාරකට ආසන්න කාලයක් පැවති බවයි එම පක්ෂයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ.
Previous Post Next Post