හිටපු ජනපති මෛත්‍රීට පැජට් පාරේ සුපිරි නිවසත් අහිමි වන ලකුණු

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා භාවිතා කරන සුවිසල් නිලනිවස ද ඒ මහතාට අහිමි වන තත්වයක් උද්ගත වෙමින් පවතින බව වාර්තා වේ.

කොළඹ 07, පැජට් පාරේ පිහිටි මෙම නිලනිවස යනු මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති ධුරයට පත්වූ පසුව ජනාධිපතිවරයකුගේ භාවිතය සඳහාම රජයේ නිලනිවාස ඒකක තුනක් එකට එකතු කර සකස් කළ සුවිසල් මන්දිරයකි.

එසේම මෙය ජනාධිපතිවරයකුගේ භාවිතය වෙනුවෙන්ම රුපියල් කෝටි ගණනාවක මහජන මුදල් වැයකොට සුපිරි පහසුකම් සහිතව නවීකරණය කළ මන්දිරයකි.

විශ්‍රාමික ජනාධිපතිවරුන්ට ද නිලනිවසක හිමිකම පවතින බැවින් මෛත්‍රීපාල සිරිසේන මහතා සිය ධුරකාලයෙහි අවසන් මාසයේදී මෙම මන්දිරයම විශ්‍රාම ගිය පසුවත් තමන්ගේ භාවිතය සඳහා ලබාගැනීමට කැබිනට් අනුමැතියක් ද ලබාගත්තේය.

එහෙත් මේ වනවිට වාර්තා වන්නේ එම කැබිනට් අනුමැතිය නිසි ක්‍රමවේදයට අනුව ලබාගත්තක් නොවන නිසා එහි වලංගුභාවය පිළිබඳ ගැටළුවක් මතුව ඇති බවයි.

එසේම විශ්‍රාමික ජනාධිපතිවරයකුට සුදුසු පහසුකම් සහිත වෙනත් තනි නිලනිවාස ඒකකයක් මෛත්‍රීපාල සිරිසේන මහතාට ලබාදී මෙම නිවාස ඒකක තුනක් එක්කර තැනූ මන්දිරය වෙනත් ප්‍රයෝජනවත්, සුදුසු කටයුත්තක් සඳහා යෙදවීම කෙරෙහි ද රජයේ අවධානය යොමුව ඇති බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.
Previous Post Next Post