ෆේස්බුක් මිතුරන්ගේ සාදය පොලිසියෙන් කෙළවර වෙයි - තරුණ තරුණියන් 30 ක් මත් ද්‍රව්‍ය සමඟ කොටුවුන හැටි

මුහුණු පොතෙන් හඳුනාගත් මිතුරු මිතුරියන්ගේ මත්ද්‍රව්‍ය සාදයක් වටලා එහි සිටි තරුණියන් 9 දෙනෙකු සහ තරුණයින් 21 දෙනෙකු මීගොඩ පොලීසිය විසින් අත්අඩංගුට ගෙන තිබෙනවා. අත්අඩංගුවට ගත් පිරිස අම්පාර, අනුරාධපුර, රත්නපුර, ගාල්ල සහ කොළඹට තදාසන්න ප්‍රදේශවල පදිංචි සැකකරුවන් 20-30 අතර වියේ පසුවන්න අය බවය පොලිසිය සඳහන් කළේ.


එසේම අත්අඩංගුවට ගත් පිරිස සතුව තිබී අයිස්, ඈෂ්, ගංජා සහ විදේශීය දුම්වැටි ඇතුළු මත්ද්‍රව්‍ය තොගයක්ද පොලිස් භාරයට ගෙන ඇති බවද වාර්තා වුනා.

මෙම පිරිස ඊයේ (08) රාත්‍රීයේ ගොඩගම ප්‍රදේශයේ උත්සව ශාලාවක මෙම සාදය පවත්වා ඇති අතර ඒ සඳහා එක් අයෙකුගෙන් රුපියල් 1000 ක ඇතුලත්වීමේ ගාස්තුවක්ද අයකර ඇති බවයි වාර්තා වුනේ.

සාදය පැවති අවස්ථාවේදී ඇතිවූ අධික ඝෝෂාකාරී බව හේතුවෙන් මීගොඩ පොලිස් පරීක්ෂක ගමගේ නිලන්ත මහතාට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදුකර තිබෙනවා. එහිදී තරුණයින් 21 දෙනෙකු සහ තරුණියන් 9 දෙනෙකු මෙසේ අත්අඩංගුවට ගෙන ඇති අතර පසුව පැමිණි පිරිසගේ ලේඛන පරීක්ෂා කිරීමේදී 75 දෙනෙකු සහභාගි වූ බවද අනාවරණය වී තිබෙනවා.

ඔවුන් අද (09) හෝමාගම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති අතර මීගොඩ පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

Previous Post Next Post