එජාපය සමග එක්වීමෙන් ශ‍්‍රීලනිපයට කිසිම හානියක් වුණේ නෑ.. හොදම ප‍්‍රතිපත්ති ප‍්‍රකාශණය සජිත්ගේ එකයි..- චන්ද‍්‍රිකා

ක්සත් ජාතික පක්ෂය සමග එක් වීමෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විනාශ වූ බවක් තමන් පිළිගන්නේ නැතැයි හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය සඳහන් කරයි.

2015දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජාතික පක්ෂය එකතුවී බිහි කරන ලද ආණ්ඩුවේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශක්තිමත් වූ බවද ඇය පැවසීය.


එම ආණ්ඩුවේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ප්‍රබල ඇමතිධුර ලැබුණු බවත් එවායින් පාක්ෂිකයන්ට සේවය කිරීමට අවස්ථාව ලද බවද ඇය සඳහන් කළාය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරැකීමේ සංවිධානය විසින් ඊයේ කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ කැඳවා තිබූ සමුළුව අමතමින් ඇය මෙම අදහස් පළ කළා ය.

මෙවර ඉදිරිපත්වී සිටින ජනාධිපති අපේක්ෂකයන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයන් අතරින් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය දුටු සැනින් තමනට සිනහ පහළ වූ බවත් හොදම ප‍්‍රතිපත්ති ප්‍රකාශය ලෙස තමන් පිළිගනු ලබන්නේ සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය බවත් ඇය සඳහන් කළාය.

පොහොට්ටුව ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කළහොත් එදින සිට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විනාශ වනු ඇති බවත් පක්‍ෂ මූලස්ථානය ද අහිමි වනු ඇති බවත් ඇය කියා සිටියාය.

චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාස මහතාට සහාය දීම සඳහා ගිවිසුම් ගතව සිටී.
Previous Post Next Post