පලෙයි වෛද්‍යවරයාගේ පාපොච්චාරණයෙන් කොටි ගිනිඅවි තොගයක් හසුවේ !

දැනට අත්අඩංගුවේ පසුවන, පලෙයි රෝහලේ  අධිකරණ වෛද්‍ය නිලධාරි සින්නයියා සිවරූබන් නමැත්තාගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී හෙළිවූ තොරතුරුවලට අනුව සිදුකළ සෝදිසි මෙහෙයුමකදී අවි ආයුධ තොගයක් සොයාගෙන ඇති බව වාර්තාවේ.

පලෙයි, කරන්ඩිය ප්‍රදේශයේ වළදමා තිබූ ඒ.කේ. 47 වර්ගයේ ස්වයංක්‍රීය ගිනි අවියක්, එම ගිනි අවියට යොදන මැගසින් 02ක්, ජීව උණ්ඩ 120 ක්, අත් බෝම්බ 11 ක් සහ පී.ඊ. 10 වශයෙන් හඳුන්වන අධි බලැති පුපුරණ ද්‍රව්‍ය කිලෝ 10 ක් ඇතුළු අවි ආයුධ තොගයක් ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසයකට නිලධාරින් විසින් ඊයේ (26) පස්වරුවේ  අත්අඩංගුවට ගනු ලැබු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකාර මහතා පැවසීය.

ගිනි අවි සහ පුපුරණ ද්‍රව්‍ය තොගයට අමතරව දුරදක්නයක්ද ත්‍රස්තවාදී විමර්ගත කොට්ඨාසයේ නිලධාරින් විසින්
අදාළ සෝදිසි මෙහෙයුමේදී සොයාගනු ලැබූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කීවේය.

මීට පෙර අවස්ථාවක යුද හමුදා මාර්ග බාධකයක් පසුකර යෑමට උත්සාහ කළ මෙම වෛද්‍යවරයා යුද හමුදාව විසින් සැකපිට  අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරිමේදී හෙළිවූ  තොරතුරුවලට අනුව වැඩිදුර ප්‍රශ්න කිරීම් සඳහා ඔහු ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ නිලධාරින්ට බාරදී ඇති අතර, ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ නිලධාරින් ඔහුගෙන් කළ ප්‍රශ්න කිරිම්වලදී තමන් පලෙයි රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරියා බව සින්නයියා සිවරූබන් හෙළි කොට ඇත.

ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ නිලධාරින් ඔහුගෙන් වැඩිදුර ප්‍රශ්ත කිරීම්වලදී, පසුගිය යුද සමයේදී කොටින්ගේ අවි ආයුධ සහ පුපුරණ ද්‍රව්‍ය ප්‍රවාහනය කිරිම බාරව සිටි බවද ඔහු පිළිගෙන ඇති අතර එලෙස ප්‍රවාහනය කිරීම සදහා බාරදුන් සමහර අවි ආයුධ හා පුපුරණ ද්‍රව්‍ය විවිධ ස්ථානවල සැඟවූ බවද හෙළිකොට ඇත.

ඒ අනුව සිදුකළ වැඩිදුර ප්‍රශ්න කිරීම්වලදී එලෙස ප්‍රවාහනය කිරීමට බාරදුන් අවි ආයුධ සහ පුපුරණ ද්‍රව්‍ය වළදමා ඇති පලෙයි, කරන්ඩිය ප්‍රදේශයේ ස්ථානයක් පිළිබඳ තොරතුරු හෙළිකොට ගෙන ඇති අතර, ඔහුගේ මඟ පෙන්වීම යටතේ පලෙයි කරන්ඩිය ප්‍රදේශයේ ස්ථානයක් හාරා සිදුකළ සෝදිසියකදී අදාළ පුපුරණ ද්‍රව්‍ය සහ ගිනි අවි තොගය සොයාගෙන ඇත.

මීට අමතරව සඟවා ඇති තවත් අවි ආයුධ සහ පුපුරණ ද්‍රව්‍ය සොයාගැනීම සඳහා පොලිසිය පරික්‍ෂණ සිදුකරන බවද ඒ සඳහා වෛද්‍ය සින්නයියා සිවරූබන් නමැත්තා මේ වන විටත් යාපනය පොලිසියේ රඳවා තබාගෙන ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ නිලධාරින් විසින් ප‍්‍රශ්න කරනු ලබන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

-මනෝප්‍රිය ගුණසේකර-
Previous Post Next Post