මහින්ද අඩිය ගහන තැන ලිස්සන්න සීලර් ගෙනා දෙන්නා චීනයට ලිස්සලා !

පාර්ලිමේන්තු ටයිල් පොළොව ඔප දැමීමට ආලේප කර තිබෙන රසායනික වර්ගයක් නිසා පසුගිය කාලයේ එම ටයිල් පොළොවේ මන්ත්‍රීවරු ඇතුළු විසිහතර දෙනකු පමණ ලිස්සා වැටී තිබේ.

මේ හේතුවෙන් ඇතැමුන්ගේ කොඳුවලට හානි සිදුව ඇති අතර එසේ හානිවූ සමහර අය මේවන විට ආයුර්වේද ප්‍රතිකාර පවා ලබා ගන්නා බව පැවසේ.

පාර්ලිමේන්තුවට පහසුකම් සැපයීම ගැන කතා කෙරෙන්නේ කථානායකවරයාගේ සභාපතිත්වයෙන් යුතු පාර්ලිමේන්තු ගෘහ කාරක සභාවේදී වන අතර මෙම සභාවේ ප්‍රධානීන් ලෙස පාර්ලිමේන්තුවේ ආහාර හා ගෘහ පාලන අධ්‍යක්ෂවරයා සහ ගෘහ පාලකවරයා කටයුතු කරණ බව වාර්තා වේ.

ටයිල් පොළොවේ ආලේප කරන ලද රසායනික ද්‍රව්‍යවල සාම්පල පරීක්ෂා කිරීමකින් තොරව ඇණවුම් කර ඇත්තේ මේ දෙදෙනා බව ද පැවසේ.

පොළොවේ ආලේප කිරීම සඳහා එම රසායනිකය (සීලර්) ලීටර් හතරේ කෑන් 50ක් මිලදී ගෙන තිබේ.

රුපියල් 4,650 කට මෙම එක් කෑනයක් මිලදී ගෙන ඇති බව මේවන විට හෙළිව ඇත.

මේ රසායනික ද්‍රව්‍ය ආලේප කිරීම නිසා ටයිල් පොළොව ලිස්සනසුළු තත්ත්වයක් පැවතීම ගැන පාර්ලිමේන්තුවේ ආහාර හා ගෘහ පාලන අධ්‍යක්ෂවරයාට සහ ගෘහ පාලකවරයාට විරුද්ධව විනය පරීක්ෂණයක් පැවැත්වීමට මේවන විට කටයුතු යොදා ඇති බව වාර්තා වේ.

කෙසේවුවද, ඔවුන් දෙදෙනා මේවන විට චීන සංචාරයකට එක්ව ඇති බැවින් එය ප්‍රමාද වී ඇති බවද පැවසේ.

සර් ! පරිස්සමින් අඩිය තියන්න

මේ අතර, පසුගියදා විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට පැමිණෙන අවස්ථාවේ කුමාර සිරිහෙට්ටිගේ මහතා පැමිණ “සර් ! පරිස්සමින් අඩිය තියන්න බිම සබන් ගාල වගේ හොඳටම ලිස්සනාව” යනුවෙන් කියමින් සිදුවන්නට ගිය අනතුරක් වලක්වා ගත් බව ලංකාදීප තිරය පිටුපස තීරයේ සටහන්ව තිබේ.

මහින්ද එනු දුටු වාසුදේව නානායක්කාර, සුසන්ත පුංචි නිලමේ, ලක්ෂමන් යාපා යන මන්ත්‍රීවරුන් හා මාධ්‍යවේදින් පිරිසක්ද එතැනට පැමිණි බවත්, එහි පැමිණි වාසු “අපි අඩිය තියන තැන්වලටත් ආණ්ඩුව බය වෙලා. ඒ වෙලාවට තමයි ආණ්ඩුව ඔය වගේ උප්පරවැට්ටි දාන්නේ” යනුවෙන් පැවසූ බවද එහි දැක්වේ.
Previous Post Next Post