අධි ආරක්ෂිත සිරමැදිරියක සිට කංජිපානි ඉම්රාන් ඝාතන රැල්ලක් ගැන හෙළිකරයි

ඩුබායිහි අත්අඩංගුවේ පසුවන මාකඳුරේ මදූෂ්ට අයත් බව පැවසෙන කුළී පදනම මත වාහන ලබා දෙන ආයතනයක් පිළිබඳ තොරතුරු වාර්තා වී තිබෙනවා. ඒ සඳහා සම්පූර්ණයෙන්ම මුදල් යොදවා ඇත්තේ මාකඳුරේ මදූෂ් බවයි හෙළිවී ඇත්තේ.
මෑතකදී ප‍්‍රසිද්ධ වූ මෙම කුලී රථ සමාගමේ හිමිකරු ලෙස මොහොමඞ් ඉම්රාන් මොහොමඞ් නජීම් නොහොත් කංජිපානි ඉම්රාන් පෙනී සිට ඇති බවයි වාර්තා වන්නේ. එහෙත් එම ආයතනය පවත්වාගෙන ගොස් ඇත්තේ මොහොමඞ් රිස්බාන් නමැත්තෙක්.

පසුව රිස්බාන් නමැත්තා ඝාතනයට ලක්කර තිබෙනවා. ඒ සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු ලෙස සැලකෙන ගෝත අසංකගේ නියෝග මතයි. පසුව මදූෂ් විසින් සොයා ගෙන ඇත්තේ සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වූ කොස් මල්ලි විසින් මෙම ඝාතනය සිදු කර ඇති බවයි. සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු ලෙස කටයුතු කළ සමයං නමැත්තා ඝාතනය කිරීම සම්බන්ධයෙන් ගෝත අසංක, මාකඳුරේ මදූෂ් සමග වෛරයෙන් පසුවූ බවටද වාර්තා පළ වනවා. ගෝත අසංක යනු සමයං නමැත්තාගේ සමීපතමයෙක්.

කෙසේවෙතත් රිස්බාන්ගේ මරණය සම්බන්ධයෙන් කංජිපානි ඉම්රාන් සහ මාකඳුරේ මදූෂ් අතර ද බහින්බස්වීමක් සිදුව ඇති බවයි මේ වනවිට ලැබී ඇති තොරතුරුවල දැක්වෙන්නේ. එහිදී රිස්බාන් නමැත්තා සිය ව්‍යාපාර කටයුතුවලට සම්බන්ධ කර ගැනීම සම්බන්යෙන් කංජිපානි ඉම්රාන්, මාකඳුරේ මදූෂ් හට දෝෂාරෝපණය කර ඇතැයි සඳහන්.

එහිදී රිස්බාන් ඝාතනය කළ අයුරින්ම ඔහුගේ ඝාතනයට සම්බන්ධ පුද්ගලයාද ඝාතනය කරන බවයි මාකඳුරේ මදූෂ් පවසා ඇත්තේ. ඉන් අනතුරුව රිස්බාන් නැමැත්තාගේ ඝාතනය සිදු කළ කොස් මල්ලි නැමැති සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයා අගුණකොලපැලැස්සේ ගෝඨාභයගම ප‍්‍රදේශයේදී පොල්ගසක ගැට ගසා වෙඩි තබා ඝාතනය කර තිබුණා. මෙම ඝාතනය මාකඳුරේ මදූෂ් ඩුබායි රාජ්‍යයේ සිට අන්තර්ජාලය ඔස්සේ නරඹා ඇති බව ද සඳහන්.

මෙම සියලූ තොරතුරු වාර්තා වී ඇත්තේ කංජිපානි ඉම්රාන්ගෙන් මේ වනවිට සිදු කරන ප‍්‍රශ්ණ කිරීම්වලදී බවයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කළේ. කංජිපානි ඉම්රාන් මේ වනවිට කොළඹ වරාය භූමියේ පිහිටි අධි ආරක්ෂිත සිරමැදිරියක රඳවාගෙන ප‍්‍රශ්ණ කරමින් සිටිනවා.
Previous Post Next Post