අලුත් මන්ත්‍රීවරු පා.මේ එනවනම් විපක්ෂෙට එන්න - ජනපති

යම් පුද්ගලයෙක් පාර්ලිමේන්තුවට මුලින්ම තේරීපත්ව පැමිණෙන්නේ නම් ඔහු විපක්ෂයෙන් පැමිණීම ප්‍රතිඵල දායක බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතාගේ දේශපාලන දිවියට වසර 30ක් පිරීම නිමිත්තෙන් ඊයේ (28දා) බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණශාලාවේදි පැවැත්වූ උත්සව අවස්ථාවට එක්වෙමිනි.

මංගල සමරවීර මහතාත් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාත් එකට පාර්ලිමේන්තුවට පැමිණ තිබෙන අතර එම වකවානුවේදී ඔවුන්ගේ ජීවිතය ගෙවී ගිය ආකාරය පිළිබඳව ජනපතිවරයා සිය අදහස් දැක්වීය.

"මංගල මුලින්ම මට හමු වුණේ 1988 දී යි. අපි 89 පෙරවාරි මස 15 පැවති පාර්ලිමේන්තු මැතිවරණයෙන් මුල්වරට පාර්ලිමේන්තුවට ගියා. මංගලත් මමත් එදා පාර්ලිමේන්තුවට තේරී පත්වූ අනෙක් අයත් පාර්ලිමේන්තුවේ දිවුරුම් දුන්නේ 89 මාර්තු මාසේ 9 වැනිදායි. මංගලත් අපිත් මුලින්ම ගියේ ආණ්ඩුවට නොව විපක්ෂයට බව ඔබ දන්නවා".

"පාර්ලිමේන්තුවට යන මන්ත‍්‍රීවරයෙක් මුලින්ම යා යුත්තේ ආණ්ඩු පක්ෂයට නොව විපක්ෂයට කියායි මා විශ්වාස කරන්නේ. විපක්ෂයට මුලින්ම යන මන්ත‍්‍රීවරයෙක් පාර්ලිමේන්තුවේ කටයුතු පිළිබඳව විපක්ෂයේ සිටින කාලය තුළ දී ඉගෙනගන්නවා. හොඳ අත්දැකීම් රාශියක් ලබනවා. ආණ්ඩුවේ මන්ත‍්‍රීවරයෙක් ඇමතිවරයෙක් වෙන අවස්ථාවක ඔහු පරිණත වී තිබෙනවා. ඔහු ඊට සූදානම් වී තිබෙනවා. මංගල කියන්නේ හිත හොඳ මිනිහෙක්" යැයි පැවසීය.
Previous Post Next Post