කුසල් දක්ෂවුණත් අස්ථාවර වීම ඔහුට පීඩනයක් - මුරලි

ශ්‍රී ලංකාවේ තරුණ ක්‍රීඩකයකු වන කුසල් මෙන්ඩිස් දක්ෂතාවලින් බහුල වුවත්, ඔවුන් අස්ථාවර බවත්, එය ඔවුන්ගේ පිතිකරණයට විශාල පීඩනයක් එල්ල කරන බවත්, මුත්තයියා මුරලිදරන් කියා සිටී.

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඕස්ට්‍රේලියානු කණ්ඩායම අතර පැවැති වෝන් මුරලි ටෙස්ට් ක්‍රිකට් ශූරතාවලිය සම්බන්ධයෙන් මාධ්‍යට අදහස් දක්වමින් ඔහු මේ බව පවසා තිබේ.
එහිදී මුරලි වැඩිදුරටත් මෙසේද පවසා ඇත.

"ගෙවුනු වසර 3 – 4 තුළ සිද්ධ වුනෙත් ඒ දේම තමයි. ඒ කාලවකවානු ඉදලා ක්‍රීඩකයන්ගේ කිසිම සංවර්ධනයක් සිද්ධ වුනේ නැහැ. දැන් එන තරුණ ක්‍රීඩකයන්ට දක්ෂතාවය වගේම හැකියාවක් නැහැ. ඉතිං ඔවුන් ජාත්‍යන්තර ක්‍රිකට් වලට ගිහින් මොනව කරන්නද ?

මේ දිනවල ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩා විලාසය ඉතාමත් දුර්වලවයි. ඒ වගේම ඕස්ට්‍රේලියාවේ ක්‍රීඩා විලාශය ද ඉතාමත් නරකයි. කොහොම වුනත් ශ්‍රී ලංකා ඕස්ට්‍රේලියාවට වඩා නම් නරකයි.

ශ්‍රී ලංකා කණ්ඩායම උත්සාහයක් ගත්තා නම් ඕස්ට්‍රේලියාව දිනනවා කියන එක කියන්න හරිම අමාරුයි. ඒත් ඒ දේ වෙනවා මම දැක්කේ නැහැ.

මුරලි විසින් රංගන හේරත් ඇතුළු ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු විශිෂ්ඨ ක්‍රීඩකයින් පිළිබදව ද එහිදී මෙලෙස සිහිපත් කළේය.

"රංගන හේරත් විශ්‍රාම ගැනීම ඉතාමත් විශාල පාඩුවක්. ඒ වගේම තමයි සංගක්කාර, මහේල ජයවර්ධනගේ විශ්‍රාම ගැනීමත්.

ඕනෑම රටක කණ්ඩායමකට ඔය ප්‍රශ්නය තියෙනවා. කණ්ඩායමෙන් සමුගන්නා විශිෂ්ඨ ක්‍රීඩකයින් වෙනුවට කණ්ඩායමට ක්‍රීඩකයින් තෝරා ගන්නවා කියන ඒක.

ඇත්ත වශයෙන්ම අපි වාසනාවන්තයි, පසුගිය වසර 20 තුළ හිතාගන්නවත් බැරි තරම් දක්ෂතා තියෙන ක්‍රීඩකයින් 40ත් 50ත් අතර ප්‍රමාණයක් අපිට පාසල් ක්‍රිකට් වලින් ලැබුණා. නමුත් පාසල් ක්‍රිකට්වල ප්‍රමිතිය මේ වන වෙන කොට පහතටයි යන්නේ.

අපිට සිද්ධ වෙනවා පළමු පෙළ (first-class) ක්‍රිකට්වල ඉදලා හදලා ගන්න."

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සම්බන්ධයෙන්ද අදහස් දක්වමින් මුරලි පවසා ඇත්තේ "අයි.සී.සී. අවිනිශ්චිතතාවයකින් කියනවා ශ්‍රී ලංකාව වරදක් කරලා කියලා. අයි.සී.සී.ය මේ වන තෙක් කිසිදු නමක් එළියට කියලා නැහැ. එහෙම නැතිව රටකට චෝදනා කරන්නේ කොහොමද ? අයි.සී.සී.යට සිද්ධ වෙනවා එම නම් ප්‍රකාශයට පත්කරන්න. ඒක මුළු ජාතියටම කරන අපරාධයක්. ඔවුන්ට සාක්ෂි අවශ්‍යයි, සැකයක් තියෙනවා කියලා ක්‍රීඩකයින්ට චෝදනා කරන්න බැහැ. මට විශ්වාසයි මේ නිසා ක්‍රීඩකයන් බොහෝ දෙනෙක් ඉන්නේ බයවෙලා, මොකද බොහෝ දේවල් පැහැදිලි නැහැ.” යනුවෙනි.
Previous Post Next Post