වල් ඌරන් මරා කැබ් එකේ දැමූ මන්ත්‍රී අත්අඩංගුවට

මරා දැමූ වල් ඌරන් දෙදෙනකු කැබ් රියකින් ප්‍රවාහනය කරමින් සිටි ගම්පහ දිස්ත්‍රික්කයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකු ඇතුළු පුද්ගලයන් සිවුදෙනකු ඊයේ (14දා) අලුයම වේවැල්දෙණිය පමුණුවත්ත ප්‍රදේශයේදී සැකපිට අත්අඩංගුවට ගත් බව මීරිගම පොලිසිය කියයි.
සැකකරුවන් අතර දිවුලපිටිය ප්‍රදේශයේ පියකු හා පුතකුද කටුවැල්ලේගම ප්‍රදේශයේ පුද්ගලයකුද සිටින බව පොලිසිය කියයි. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිවරයා පළාත් සභාව මෙන්ම ප්‍රාදේශීය සභාවද නියෝජනය කළ අයෙක් බවද අනාවරණය වී ඇත.

මෙම පිරිස බලපත්‍ර සහිත ගිනි අවියක් උපයෝගි කරගෙන කැලෑබද පෙදෙසකදී වල් උෟරන් මරා ගෙන යමින් සිටියදී මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ ගව සොරකම් පිළිබඳව සොයා බැලීම සඳහා සැඟවී මුර සංචාරයේ යෙදුණු පොලිස් නිලධාරීන් පිරිසකටය. කැබ් රිය පරීක්ෂා කිරීමේදී දැවැන්ත වල් උෟරන් දෙදෙනකුගේ සිරුරු එහි වූ බව පොලිසිය කියයි. හිටපු මන්ත්‍රිවරයා නිතර දඩයමේ යන පුද්ගලයකු බව පොලිස් පරීක්ෂණවලදී හෙළි වී ඇත.

සැකකරුවන් ඊයේ (14දා) සවස අත්තනගල්ල අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.
Previous Post Next Post