ඇමතිවරු කිහිප දෙනෙක් අද දිවුරුම් දෙයි !

නව කැබිනට් මණ්ඩලයේ කිහිප දෙනෙකු අද (19) දිනයේ දිවුරුම් දීමට නියමිතව ඇති බව එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි අශෝක අබේසිංහ මහතා පවසා තිබේ.

අද දිනයේදී කැබිනට් අමාත්‍යධුර 18ක් හෝ 20 ක් සඳහා අමාත්‍යවරුන් දිවුරුම් දෙනු ඇති බවත් ඉතිරි පිරිස හෙට (20) දිවුරුම් දෙනු ඇති බවත්
මන්ත්‍රිවරයා සඳහන් කර ඇත.

මේ අතර අද දිනයේදී දිවුරුම් දෙන අමාත්‍යවරුන් අතර මුදල් අමාත්‍යවරයාද සිටින බවත් නීතිය හා සාමය අමාත්‍යාංශය සම්බන්ධයෙන් මේ දක්වා අවසන් තීරණයකට එළැඹ නොමැති බවත් ඔහු වැඩිදුරටත් කියා සිටී.

එක්සත් ජාතික පක්ෂය විසින් ඊයේ සවස් භාගයේදී කැබිනට් මණ්ඩලය සඳහා යෝජිත නම් ලැයිස්තුව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා වෙත යොමු කර ඇතැයි ඇතැම් මාධ්‍ය වාර්තා කර තිබුන ද ජනාධිපති කාර්යාල ආරංචිමාර්ග පවසන්නේ එවැනි ලේඛනයක් ජනාධිපතිවරයා වෙත ඊයේ දිනයේ නොලැබුන බවයි.

ශ්‍රීලනිප මන්ත්‍රීවරුන්ගේ ස්ථාවරය :

මේ අතර ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු ආණ්ඩුවට එක්කර ගැනීම සඳහා එජාපෙ ප්‍රධානින් ඊයේ (18) රාත්‍රීයේ ද ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් පිරිසක් සමග සාකච්ජා පැවැත්වූ අතර ඒ අනුව ඔවුන්ගේ ස්ථාවරය අද දිනය තුලදී අගමැතිවරයා වෙත දැනුම්දීමට නියමිතය.

කෙසේවුවද එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවට එක්වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු කිසිවෙකුටත් කැබිනට් අමාත්‍යධූර, රාජ්‍ය අමාත්‍යධූර හෝ නියෝජ්‍ය අමාත්‍යධූර ලබා නොදෙන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කර ඇතැයි ද වාර්තාවේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව ඊයේ (18) රාත්‍රීයේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැති අතර එහිදී ජනාධිපතිවරයා මේ බව සඳහන් කර ඇතැයි පැවැසේ.

Previous Post Next Post