දින 50 කට පසු අගමැති රනිල් අරලියගහ මැදුරෙන් පිටව යයි...!

එක්සත් ජාතික පෙරමුණේ  නායක රනිල් වික‍්‍රමසිංහ මහතා ශ්‍රී ලංකාවේ 14 වැනි අග‍්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දීමෙන් අනතුරුව අරලියගහ මන්දිරයෙන් නික්ම වික‍්‍රමසිංහ පවුලට අයත් කොල්ලූපිටියේ  පස්වැනි පටුමගේ පිහිටි නිවසේ පදිංචියට ගොස් තිබෙනවා. රනිල් වික‍්‍රමසිංහ මහතා අගමැති ධුරයේ දිවුරුම් දීම නිමිත්තෙන් අරලියගහ  මන්දිරයේ පැවති පාක්ෂික හමුව අවසන් වූ වහාම රනිල් වික්‍රමසිංහ මහතා සහ මහාචාර්ය මෛත‍්‍රී  වික‍්‍රමසිංහ මහත්මිය
මෙලෙස අරලියගහ මන්දිරයෙන් පිටව ගොස් තිබෙනවා.

පසුගිය ඔක්තෝබර් 26 වැනි දා රනිල් වික‍්‍රමසිංහ මහතා අග‍්‍රාමාත්‍යධුරයෙන්  ඉවත් කිරීමෙන් පසුව මෙරට ප‍්‍රජාතන්ත‍්‍රවාදී  බලවේග ඒකරාශී කිරිම සදහා රනිල්  වික‍්‍රමසිංහ මහතා අරලියගහ මන්දිරයේ රැඳී සිටීමට තීරණය කළ අතර  මහාචාර්ය මෛත‍්‍රී වික‍්‍රමසිංහ මහත්මිය ද එම කාලසීමාව පුරාවටම අරලියගහ මන්දිරයේ රැඳී සිටියා.

රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධූරයෙන් ඉවත් කළ දා සිට දින 50 ක කාලයක් පුරාවටම මෙරට ප‍්‍රජාතන්ත‍්‍රවාදී බලවේග  ඒකරාශී කරන  කේන්ද්‍රස්ථානය බවට අරලියගහ මන්දිරය පත්කිරීමට පියවර ගත් බවයි එක්සත් ජාතික පක්ෂ මහලේකම්, හිටපු අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් ප්‍රකාශ කළේ.

එසේම 2015 ජනවාරි 08 වැනි  පිහිටවූ යහපාලන රජයෙන් පසුව ඔක්තෝබර් 26 වැනි දා  දක්වා කාලය තුළදී රනිල් වික‍්‍රමසිංහ මහතා අරලියගහ මන්දිරයේ ගතකර තිබුණේ රාත‍්‍රීන් දෙකක් පමණක් වීමද විශේෂත්වයක්.

Previous Post Next Post