මහින්දගේ අභියාචනය සලකා බැලීමට නියමිතයි

මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු අමාත්‍ය මණ්ඩල සාමාජිකයින් විසින් ඉදිරිපත් කළ අභියාචනා පෙත්සම අද ශ්‍රේෂ්ඨාධිකරණයේදී සලකා බැලීමට නියමිතව තිබේ.

මහින්ද රාජපක්ෂ  මහතා ඇතුළු අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයින් 49 දෙනෙකුට එම තනතුරු දැරීම වලක්වාලමින් අභියාචනාධිකරණය පසුගිය
03 වැනිදා අතුරු තහනම් නියෝගයක් නිකුත් කරනු ලැබීය.

එම නියෝගයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියාචනයක් ඉදිරිපත් වූ අතර ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ පසුගිය 12 වැනිදා එය කැඳවා තිබුණි.

ඒ අනුව අභියාචනය අද(14) සලකා බැලීමට නියමිතයි.

මේ අතර මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු අමාත්‍ය මණ්ඩල සාමාජිකයන් එම තනතුරුවල කටයුතු කිරීම වළක්වාලමින් නිකුත් කර ඇති  තහනම් නියෝගය අත්හිටුවන ලෙස ඉල්ලා ඉදිරිපත් කර ඇති විශේෂ අභියාචනා පෙත්සම් පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ විභාගයට ගන්නා ලෙස ඉල්ලමින් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත මෝසමක් ඉදිරිපත් කර තිබේ.

මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු අමාත්‍ය මණ්ඩල සාමාජිකයින් පිරිසක් විසින් ඉදිරිපත් කර ඇති අදාල අභියාචනා පෙත්සම්වල වගඋත්තරකරුවන් ලෙස නම් කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රීවරු  122 දෙනා අතුරින්  පළවෙනි වගඋත්තරකරු ලෙස නම් කර සිටින රනිල් වික්‍රමසිංහ මහතාගේ නීතිඥවරයා විසින් මෙම මෝසම ඉදිරිපත් කළ බවයි අද දෙරණ අධිකරණ වාර්තාකරු පැවසුවේ.

මෝසම ඉදිරිපත් කරමින් නීතිඥවරයා පෙන්වා දී ඇත්තේ එම නඩුව ව්‍යවස්ථාමය වශයෙන් ඉතා වැදගත් කටයුත්තක් බැවින් එය පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ විභාග කිරීම සුදුසු බවයි.

මේ අතර අදාළ අභියාචනා පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් එකසිය විසි දෙදෙනා වෙනුවෙන් තවත් මෝසමක් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත්ව තිබේ.

ඔවුන් ඉල්ලා ඇත්තේ  මහින්ද රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කළ අභියාචනා පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය විනිසුරු ඊවා වනසුන්දර මහත්මිය ඉදිරියේ විභාගයට නොගන්නා ලෙසයි.

එම පෙත්සම ඊවා වනසුන්දර මහත්මිය ඉදිරියේ විභාගයට ගතහොත් යුක්ති සහගත නඩුවිභාගයක්  අපේක්ෂා කළ නොහැකි බැවින් ඇය විනිසුරු මණ්ඩලයෙන් ඉවත් කොට වෙනත් විනිසුරු මඩුල්ලක් හමුවේ පෙත්සම විභාගයට ගන්නා ලෙස අදාළ මෝසමෙන් ඉල්ලා ඇති බව සඳහන්ය.






Previous Post Next Post