ජනාධිපතිගේ ගැසට්ටුව නීති විරෝධී - ශ්‍රේෂ්ඨාධිකරණයේ ඒකමතික තීන්දුවක්

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයා ගත් තීරණය නීති විරෝධී බව ප්‍රකාශ කරමින් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව මීට සුළු මොහොතකට පෙර ප්‍රකාශ කළේය.

අගවිනිසුරු නලින් පෙරේරා මහතා ප්‍රමුඛ සත් පුද්ගල විනිසුරු මඬුල්ලක්
විසින් එම තීන්දුව ඒකමතිකව ප්‍රකාශ කර තිබේ.

ඒ අනුව පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයා ගත් තීරණය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව තහවුරු වී තිබේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පසුගිය නොවැම්බර් 09 වැනි දින පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් නිකුත් කළ ගැසට් නිවේදනය මගින් සිය මූලික අයිතිවාසිකම් කඩ වූ බව පවසමින් එක්සත් ජාතික පක්ෂය, දෙමළ ජාතික සන්ධානය, ජනතා විමුක්ති පෙරමුණ, ශ්‍රී ලංකා මැතිවරණ කොමිසමේ සාමාජිකයෙකු වන රත්නජීවන් හූල්, සමස්ථ ලංකා මහජන කොංග්‍රසය ඇතුළු පාර්ශ්ව 13ක් විසින් පසුගිය නොවැම්බර් මස 12 වැනිදා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සම් ගොනු කළේය.

දෙදිනක් පුරා අගවිනිසුරු නලින් පෙරේරා මහතා ප්‍රමුඛ ත්‍රි පුද්ගල විනිසුරු මඬුල්ලක් හමුවේ එම පෙත්සම් විභාග වූ අතර නොවැම්බර් 13 වැනිදා ශ්‍රේෂ්ඨාධිකරණය එම පෙත්සම් විභාගයට ගැනීමට අවසර දුන්නේය. ඒ අනුව ජනාධිපතිවරයාගේ උක්ත ගැසට් නිවේදනය බලරහිත කරමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය.

පෙත්සම් වැඩිදුර විභාගය දෙසැම්බර 04,05 සහ 06 යන දිනයන්හි නැවත විභාගයට ගැනුණු අතර ඒ සඳහා අගවිනිසුරු නලින් පෙරේරා ප්‍රමුඛ ප්‍රියන්ත ජයවර්ධන, ප්‍රසන්න ජයවර්ධන, සිසිර ද ආබෘ, විජිත් මළල්ගොඩ, බුවනෙක අලුවිහාරේ සහ මෘදු ප්‍රනාන්දු යන සත් පුද්ගල විනිසුරු මඬුල්ලක් පෙනී සිටියේය.

දෙසැම්බර් 07 වැනිදා අදාළ තින්දුව ලබාදීමට නියමිත වුවත් එය දීර්ඝ කෙරුණු අතර අදාළ ගැසට් නිවේදනය බලරහිත කරමින් පැනවූ අතුරු තහනම් නියෝගයද දීර්ඝ කෙරුණි.

Previous Post Next Post