බස්නාහිර පාසල් වාර විභාගයේ ප්‍රශ්න පත්‍ර කලින් පිටවෙලා

බස්නාහිර පළාත් සභාව යටතේ ඇති පාසල් සඳහා වන වාර විභාගයේදී ලබාදුන් ප්‍රශ්න පත්‍ර හා පිළිතුරු පත්‍ර කලින් පිටවී ඇති බවට තොරතුරු වාර්තා වේ.

නවය හා දහය වසරවලට අදාළ ඇතැම් විෂයයන්වල පිළිතුරු පත්‍ර අමතර
පන්තිවල ගුරුවරුන් අතට පත්ව ඇති අතර එහි ඡායාපිටපත් සිසුන්ට ලබාදී ඇත.

මීට අමතරව විභාග ප්‍රශ්නපත්‍ර මුද්‍රණය කිරීමට අදාළ ටෙන්ඩරය ලබාදී ඇති ආයතනය මගින් බෙදාහරින මාසික අධ්‍යාපන පුවත්පතක් සමග ලබාදෙන ප්‍රශ්න පත්‍රයටද ඉන් ප්‍රශ්න පහකට වැඩි ප්‍රමාණයක් ඇතුළත් කර ඇති බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාර්ලින් පැවැසීය. ඒ අනුව නවය වසර බුද්ධාගම බහුවරණ ප්‍රශ්නපත්‍රයේ අංක 2, 5, 7, 10සහ 20 යන ප්‍රශ්න මෙම පුවත්පත් ප්‍රශ්න පත්‍රයට ඇතුළත්ව තිබී ඇත.

ප්‍රශ්නපත්‍ර මුද්‍රණයට අදාළ ටෙන්ඩරය පසුගිය වර්ෂයේදී ලබාදීමේදී ගැටලු ඇතිවී පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් පරීක්ෂණයක්ද පැවැති බව පළාත් සභා මන්ත්‍රී ලක්ෂ්මන් නිපුනආරච්චි පවසයි.

ජී.එස්.එම්. 48 ප්‍රමාණයේ කොළයේ ප්‍රශ්න පත්‍ර මුද්‍රණය කළ යුතු බවට වූ කොන්දේසිය කඩකරමින් ජී.එස්.එම්. 42 ප්‍රමාණයේ කොළයේ ප්‍රශ්න පත්‍ර මුද්‍රණය කර තිබී ඇත.

මේ සම්බන්ධයෙන් පළාත් අධ්‍යාපන ඇමැති රංජිත් සෝමවංශගෙන් විමසද්දී තමා ඒ සම්බන්ධයෙන් දැනුවත් නොමැති බව පවසමින් පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ ශ්‍රීලාල් නොනිස්ට දුරකථනය ලබා දුන්නේය. ඔහු පැවසුවේ තමාද මේ පිළිබඳ දැනුවත් වී නොමැති බවයි. එබැවින් වහා පරීක්ෂණයක් පවත්වන බවත් පැවැසීය.

Previous Post Next Post