පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට නම්කළ UNP නියෝජිතයින් මෙන්න

පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව සදහා එක්සත් ජාතික පෙරමුණ නියෝජිතයින් පස් දෙනෙකු නම් කර තිබෙනවා. ඒ, ඊයේ (22) රාති‍්‍රයේ පැවති එක්සත් ජාතික පෙරමුණේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේදීයි. ඒ අනුව ලක්‍ෂ්මන් කිරිඇල්ල, පාඨලී චම්පික රණවක, රාවුෆ් හකීම්, මනෝ ගනේෂන් සහ රිෂාඞ් බදියුදීන් එම නියෝජිතයින් වනවා.

පාර්ලිමේන්තු කාරක සභා කටයුතු සකී‍්‍රයව කි‍්‍රයාත්මක කිරීම සඳහා
තේරීම් කාරක සභාවේ නියෝජිතයින් පත්කිරීම අනිවාර්යයෙන්ම සිදුකළ යුතුයි. පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ මුළු සංයුතිය 12 ක්. ඊට අදාළ නියෝජිතයින් නම් කිරීම පක්‍ෂ විසින් අද දිනය තුළ අවසන් කළ යුතුයි. ආණ්ඩුවේ පාර්ශවය මේ වනවිටත් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව සදහා හත් දෙනෙකුගේ නාමයෝජනා ඉදිරිපත් කර තිබෙනවා. ජනතා විමුක්ති පෙරමුණින් ඒ සදහා විජිත හේරත් සහ නලින්ද ජයතිස්ස යන පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන්ගේ නම් දැනටමත් ඉදිරිපත් කර අවසන්. එක්සත් ජාතික පක්‍ෂය ඊයේ රාති‍්‍රයේ ලබාදුන් නාමයෝජනා 5ත් සමග මේ වනවිට තේරීම් කාරක සභාව සදහා නම් 14 ක් යෝජනා වී තිබෙනවා. දෙමළ ජාතික සන්ධානයද මෙතෙක් නාමයෝජනා ඉදිරිපත් කර නැහැ. මෙම තත්ත්වයත් සමග තේරීම් කාරක සභාවේ කතානායකවරයා හැර දැනට 12 කට සීමා වී ඇති මන්තී‍්‍ර නියෝජනය ඉහළ දැමීමට සිදුවනු ඇති බවටද වාර්තා පළ වනවා.

මෙම අර්බුදකාරී තත්ත්වයට හේතුවූයේ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ බහුතරය තමන්ට හිමිවිය යුතු බවට දෙපාර්ශයේම අදහස් දැක්වීමත් සමගයි. එක්සත් ජාතික පෙරමුණ පවසන්නේ පාර්ලිමේන්තුවේ බහුතර මන්තී‍්‍රන් සංඛ්‍යාවක් තම කණ්ඩායම සතු බැවින් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ බහුතරයද තම කණ්ඩායමට හිමිවිය යුතු බවයි. කාරක සභා සාමාජිකත්වය පක්‍ෂයේ සංයුතිය අනුව බෙදාදිය යුතු බවට එක්සත් ජාතික පෙරමුණ මතයක් ද ඉදිරිපත් කර තිබෙනවා.

කෙසේවෙතත් ආණ්ඩු පක්‍ෂයට තේරීම් කාරක සභාවේ බහුතරය ලබාදීම ඉතිහාසයේ සිටම සිදුවූ බව ආණ්ඩු පක්‍ෂය පෙන්වා දෙනවා. වසර 2000 දී, 2001 දී, 2004 දී හා 2015 දීද මෙරට බිහි වූ සුළුතර ආණ්ඩුවලට තේරීම් කාරක සභාවල බහුතරය හිමිවූ බවයි ආණ්ඩු පක්‍ෂය පෙන්වා දෙන්නේ.

එක්සත් ජාතික පෙරමුණේ ප‍්‍රකාශකයෙකු පැවසුවේ තේරීම් කාරක සභාවේ බහුතර මන්තී‍්‍ර ධුර සංඛ්‍යාවක් හිමි කාටදැයි කතානායකවරයා විසින් අද දිනයේ ප‍්‍රකාශයට පත්කරනු ඇති බවයි.

Previous Post Next Post