අත්‍යාවශ්‍ය භාණ්ඩ රැසක මිල පහළට - ගොවීන්ටත් සහන රැසක්

සහන රැසක් ජනතාව වෙත ලබාදීමටයි මුදල් සහ ආර්ථික කටයුතු අමාත්‍යාංශය පියවර ගෙන ඇත්තේ. ඒ අනුව භාණ්ඩ කිහිපයක් මත පනවා ඇති විශේෂ වෙළද භාණ්ඩ බද්දද අඩු කර තිබෙනවා.

ඒ, සීනි සඳහා කිලෝග‍්‍රෑමයකට රුපියල් 10 කින්, පරිප්පු සහ කඩල සදහා කිලෝග‍්‍රෑමයකට රුපියල් 5 කින්, උදු සදහා කිලෝග‍්‍රෑමයකට රුපියල් 25
කින් වශයෙන්. තිරිගු ඇට සදහා පැවති කිලෝග‍්‍රෑමයකට රුපියල් 6 ක් වූ තීරු බදු සහනය රුපියල් 9 දක්වා වැඩිකර තිබෙනවා.

ඒ අනුව අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ මිල වහාම අඩු කරන බවයි මුදල් අමාත්‍යාංශය පැවසුවේ. ලොකු ළුෑණු සහ අර්තාපල් සදහා වන විශේෂ වෙළද භාණ්ඩ බද්ද කිලෝග‍්‍රෑමයකට රුපියල් 40 ක් ලෙස පවත්වාගෙන යනු ඇති.

ගොවීන් ගත වු වසර 3 ක කාලය තුළ වාණිජ බැංකු මගින් ලබාගත් රුපියල් මිලියන 50 ක උපරිමයක් දක්වා වන ණය මුදල සදහා වූ පොලී සහ දඩ මුදල් සම්පූර්ණයෙන්ම කපා හැර එම පිරිවැය රජය විසින් දරා ගැනීමටයි තීරණය කර ඇත්තේ. ඒ, පැවති අයහපත් කාලගුණය හමුවේ ගොවීන්ට හා කුඩා වී මෝල් හිමියන්ට සිදුවූ බලපෑම සැලකිල්ලට ගනිමින්.

වී වගාව සදහා කිලෝග‍්‍රෑම් 50 ක පොහොර මිටියක මිල රුපියල් 500 ක් ලෙස පවත්වාගෙන යනු ඇති. සෙසු බෝග සදහා කිලෝග‍්‍රෑම් 50 ක පොහොර මිටියක සහන මිල රුපියල් 1,500 සිට රුපියල් 1000 දක්වා අඩු කර තිබෙනවා. කෘෂිකාර්මික ආදායම මත බද්ද පවතින උපරිම අනුපාතය 24% සිට 14% ක් දක්වා අඩු කිරීමටයි පියවර ගෙන ඇත්තේ.


Previous Post Next Post