පාර්ලිමේන්තුව ලබන 23 වැනිදා දක්වා කල්තබයි !

අද(19) පස්වරු 1 ට නියෝජ්‍ය කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් රැස් වු අතර, එහිදී පාර්ලිමේන්තුව නොවැම්බර් මස 23 වන දා පෙරවරු 10 දක්වා කල් තැබීය.

තේරීම් කාරක සභාව පත්කිරීම සඳහා මෙහිදී නියෝජ්‍ය කථානායකවරයා විසින් පාර්ලිමේන්තුවට යෝජනාවක් ගෙනා අතර, ඒ සඳහා
මන්ත්‍රීවරුන්ගේ නම් හැකි ඉක්මනින් පාර්ලිමේන්තු මහලේකම්වරයා වෙත ලබා දෙන ලෙස ද පැවසීය.

ඒ අනුව අද දිනයේ වැඩකටයුතු අවසන් කරමින් නියෝජ්‍ය කථානායකවරයා පාර්ලිමේන්තුව කල් තබන ලදී.

නොවැම්බර් මස 14,15 සහ 16 යන දිනවලදී පාර්ලිමේන්තුව තුළ ඇති වු තත්ත්වය ගැන පරීක්ෂණයක් සිදු කර රාජ්‍ය දේපල හානි වු අතර, එම පුද්ගලයින්ට දඩුවම් කිරීමට කටයුතු කරන ලෙස ද ලක්ෂ්මන් කිරිඇල්ල මන්ත්‍රීවරයා මෙහිදී කියා සිටියේය.

ඒ පිළිබඳව කථානායකවරයා ඉදිරියේ දී දැනුවත් කරන බව ද නියෝජ්‍ය කථානායකවරයා මෙහිදී පැවසීය.

මෙහිදී අදහස් දැක් වු දිනේෂ් ගුණවර්ධන මහතා කියා සිටියේ, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ ආණ්ඩුව පිළිගනිමින් පාර්ලිමේන්තුවේ තේරීම් කාරක සභාව පත් කරන විට රජයේ එම පිළිගැනීම අනුව සිදුවිය යුතු බවත්, පාර්ලිමේන්තුවේ කටයුතු බාරව තිබෙන්නේ රජයට බවත්, ආණ්ඩුව හැටියට එම කටයුතු සිදු කිරීමට තේරීම් කාරක සභාවේ බහුතරය ආණ්ඩුවට හිමිවිය යුතු බවයි.

මෙම කරුණ සම්බන්ධයෙන් රජයක් නැතිනම් තේරීම් කාරක සභාවක් පත් කර ගත නොහැකි බවත්, එනිසා රජයක් ඇති බව පිළිගනිමින් මෙම තේරීම් කාරක සභාව පත් කර සිටින ලෙසත් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක මහතා මෙහිදී කියා සිටියේය.

මේ අතර, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා කියා සිටියේ, පසුගිය 15 වන දින කථානායකවරයා නිශ්චිත වශයෙන් 14 වන දා විශ්වාසභංග යෝජනාවක් සම්මත වු බවත්, ඒ අනුව අග්‍රාමාත්‍යවරයෙක් හෝ ආණ්ඩුවක් නොමැති බවත් එහිදී ප්‍රකාශ කළ පසුබිමක් තුළ පාර්ලමේන්තු කටයුතු සඳහා අවශ්‍ය තේරීම් කාරක සභාව සඳහා බහුතරය හදා ගැනීම සාධාරණ නොවන බව ද පැවසිය.

පාර්ලිමේන්තු බහුතරය නොමැති පසුබිමක් තුළ එවැනි ක්‍රියාවලියක් සාධාරණ නොවන බවත්, පාර්ලිමේන්තුවේ බහුතරයක් නොමැති කණ්ඩායමකට තේරීම් කාරක සභාවේ බහුතරයක් ලබා දීම කිසිසේත් සාධාරණ නොවන බව ද කියා සිටියේය.

Previous Post Next Post