ජනපති එජාපයට මඩු වලිගෙන් තලා කඩුවෙන් කොටා ඔළුවත් අතගායි.. පක්‍ෂ නායක හමුවේ වූ දේ මෙන්න..

පාර්ලිමේන්තුවේ විශ්වාස භංගයක් මගින් අගමැති වරයෙක් හා ආණ්ඩුවක් ඉවත් කිරීම සඳහා විධිමත් ක්‍රමවේදයක් ඇති බවත් එම ක්‍රමවේදය අනුගමනය කරමින් වත්මන් අගමැති මහින්ද රාජපක්ෂ මහතා සහ ආණ්ඩුව ඉවත් කිරීමට කටයුතු කරන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ පක්ෂ නායකයින්ට දන්වා ඇත.

ජනාධිපති කාර්යාලයේදී පැවති හමුවේදී ජනාධිපතිවරයා පක්ෂ
නායකයින් වෙත මේ බව සඳහන් කර තිබේ.

ආණ්ඩුවක් වෙනස් කිරීම වැනි ප්‍රබල කාරණාවක් සම්බන්ධයෙන් ස්ථාවර නියෝගවල සඳහන්ව ඇතත් හඬ අනුව බහුතරය තීරණය නොකරන ලෙස ඉල්ලා සිටි ජනාධිපතිවරයා විද්‍යුත් ක්‍රමය හෝ නමින් ඡන්දය ඉල්ලීම භාවිත කරන ලෙසද දන්වා තිබේ.

එමෙන්ම ඒ සියල්ල පාර්ලිමේන්තු කටයුතු කාරක සභාව ස්ථාපිත කිරීමෙන් පසුව ස්ථාවර නියෝග අනුව ‍න්‍යයපත්‍රයට දමා විවාදයට ගෙන ඉදිරිපත් කර ගන්නා ලෙසද දන්වා ඇත.

හමුවෙන් පසුව ජනාධිපති මාධ්‍ය ඒකකය විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනය මෙහි දැක්වෙයි

පාර්ලිමේන්තුවේ වර්තමාන තත්ත්වය සහ ඉදිරි වැඩපිළිවෙළ සාකච්ඡා කිරීමට කැඳවූ සර්ව පාක්ෂික හමුව දීර්ඝ ලෙස පැය දෙකකට ආසන්න කාලයක් ඉතා සුහදව සහ මිත‍්‍රශීලි ලෙස අද (18) සවස ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්විණි.

ඉදිරියේදී පාර්ලිමේන්තුව තුළ කි‍්‍රයා කළයුතු ආකාරය සම්බන්ධයෙන් හෙට පාර්ලිමේන්තුවේ දි පැවැත්වීමට නියමිත පක්ෂ නායක රැස්වීමේ දී සුදුසු තීරණයක් ගැනීමටත්, පාර්ලිමේන්තුව තුළ ඉතා සාමකාමී අන්දමින් ගැටුම්වලින් තොරව කටයුතු කිරීමටත් මෙහිදී සියලුදෙනා එකඟතාවයක් ඇතිකරගනු ලැබීය.

අතිගරු ජනාධිපතිතුමා මෙම හමුවේ දී සියලුදෙනාගෙන් ඉල්ලා සිටියේ රජයට ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව පිළිබඳව තමාට තීරණයක් ගැනීමට නම් පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන්ගේ නමින් හෝ ඉලෙක්ට්‍රෝනික ක‍්‍රමය භාවිතයෙන් ඡන්ද ගණනය කිරීම අත්‍යවශ්‍ය බවයි.

එය තමාටත් රටේ උගත් බුද්ධිමත් පොදු මහජනතාවට මෙන්ම අන්තර්ජාතිකව ද වඩාත් පිළිගත හැකි ක‍්‍රමය බව පෙන්වා දුන් ජනාධිපතිතුමා රජයක් වෙනස් කිරීම වැනි ප‍්‍රබල කාරණා පිළිබඳව තීරණයක් ගැනීමේ දී ස්ථාවර නියෝගවල සඳහන්ව තිබුණත් මන්තී‍්‍රවරුන්ගේ හඬ අනුව බහුතරය තීරණය කිරීම කාලෝචිත නොවන අතර, එහි විනිවිදභාවයක් නොමැති බව ද පැහැදිළි කරනු ලැබීය.

සර්ව පාක්ෂික සමුළුවට ආරාධනා ලැබූ සියලු පාර්ශ්ව සාකච්ඡාව නියෝජනය කළ අතර ජනතා විමුක්ති පෙරමුණ පමණක් ඊට සහභාගී නොවන බව ජනාධිපතිතුමාට දන්වා තිබූ අතර, ජනාධිපතිතුමා විසින් ඒ බව සභාවට ප‍්‍රකාශ කරනු ලැබීය.

– ජනාධිපති මාධ්‍ය ඒකකය

Previous Post Next Post