අද රෑ සිට යළිත් ඉන්ධන මිල රුපියල් 5 කින් පහලට

අද(30) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල රුපියල් 5 කින් අඩු කර තිබේ.

ඒ අනුව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් ඉන්ධනහල් වලින් අලෙවි කරන පෙට්‍රල් ‍ඔක්ටේන් 92 , ඔක්ටේන් 95 , ලංකා ඔටෝ ඩීසල් සහ සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 5 කින් අඩු වනු ඇත.

මේ වනවිට අග්‍රාමාත්‍ය කාර්යාලයේ පැවැත්වෙන ප්‍රවෘත්ති සාකච්ඡාවට
සහභාගි වෙමින් ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා මෙම මිල අඩුවීම් පිළිබඳ සඳහන් කළේය.

නව මිල ගණන් අනුව මෙතෙක් රුපියල් 140ක මිලකට අලෙවි කළ පෙට්‍රල් ඔක්ටේන් 92 ලීටරයක මිල රුපියල් 135ක් දක්වා අඩුවනු ඇත.

එමෙන්ම රුපියල් 164කට අලෙවි වූ ඔක්ටේන් 95 ලීටරයක මිල රුපියල් 159 දක්වා පහළ යනු ඇත.

මෙතෙක් රුපියල් 111ක මිලකට අලෙවි වූ ලංකා ඔටෝ  ඩීසල්  ලීටරයක් රුපියල් 106 කටත් , 136 කට අලෙවි වූ සුපර් ඩීසල් ලීටරයක් රුපියල් 131 දක්වා පහළ යනු ඇති බව අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා සඳහන් කළේය.


Previous Post Next Post