හින්දු බැතිමතුන් මහත් භක්තියෙන් සමරන දීපාවලී උත්සවය අද

හින්දු බැතිමතුන් විසින් අද (06) දීපවාලී උත්සවය සමරනු ලබනවා. ක‍්‍රිෂ්ණා දෙවියන් නරකාසුර නමැති අසුරයා පරාජය කොට ලෝකයට ආලෝකයත්, ආශිර්වාදයත් ගෙන ඒම සමරමිනුයි හින්දු සම්ප‍්‍රදායට අනුව හින්දු බැතිමතුන් දීපවාලි උත්සවය සමරන්නේ.

ජාත්‍යන්තර හින්දු සම්මේලනයේ ලේකම් ශිවශ‍්‍රී රාමචන්ද්‍රන්
කුරුක්කල්තුමන් පෙන්වා දුන්නේ පහනින් නැගෙන ආලෝකයෙන් අයහපත නමැති අඳුර දුරු වී යහපත නමැති ආලෝකය පැතිරයන්නා සේ ස්වකීය ජීවිතද ආලෝකමත් වේවායි යන්න දීපවාලියේ අරුත බවයි.

දීපවාලී උත්සවය නිමිත්තෙන් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා සුබ පැතුම් පණිවිඩයක් නිකුත් කර තිබෙනවා.

එහි දැක්වෙන්නේ දශක කිහිපයක් තිස්සේ විරසකයන් විසින් හුදෙකලා කරනු ලැබ අනේකවිද දුක්ක වේදනාවන් දරාසිටි සමාජයක ජනවර්ග අතර පවත්නා විරසකය දුරලා අන්‍යෝන්‍ය අවබෝධයත් සහජීවනයත් ඇති කිරීමට දීපවාලී උළෙල මනා පිටිවහලක් වන බවයි. ඒ බව මනාව වටහා ගනිමින් උදාවන දීපවාලිි උත්සවය අප අතර සංස්කෘතික බැඳීමක් ගොඩනගා ගත හැකි අගනා අවස්ථාවක් බවට පත්කර ගත යුතු බවයි ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ.

සුබ පැතුම් පණිවිඩයක් නිකුත් කරන අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසා ඇත්තේ අදුර පරාජය කරමින් ආලෝකයත්, අසත්‍ය පරාජය කරමින් සත්‍යයත්, නොදැනුවත්කම පරාජය කරමින් දැනුවත්කම ජයග‍්‍රහණය කිරීමත් දීපවාලි උත්සවයෙන් සංකේතවත් වන බවයි. හින්දු භක්තිකයින්ගේ ආධ්‍යාත්මික ගුණ වගාවත්, සමාජයේ ජන කණ්ඩායම් හා පුද්ගලයින් අතර අවබෝධය හා සංහිඳියාව දීපවාලී උත්සවයෙන් පිළිබිඹු වන බවද අග‍්‍රාමාත්‍යවරයා පවසනවා.

හිටපු අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා ද දීපවාලි වෙනුවෙන් සුබ පැතුම් පණිවිඩයක් නිකුත් කර තිබෙනවා. භේදබින්න වීම පහසු දෙයක් නමුත් සමගි සන්ධානයෙන්, එක්සත්ව, එක්සිත්ව යහපත උදෙසා කටයුතු කිරීම මහත් අභියෝගයක්ව පවතින බවයි එහි දැක්වෙන්නේ. සියලූ භේද දුරලා මනුෂ්‍යත්වයට මුල්තැන දෙමින් සාමයෙන්, සමගියෙන් ජීවත් වන්නට ප‍්‍රඥාවේ පහන් දල්වාගත යුතු බව හිටපු අග‍්‍රාමාත්‍යවරයා පවසනවා.

ජනතාවගේ අපේක්ෂාවන් හා අභිලාෂයන් විශාල අර්බුදයකට ලක්ව ඇති මෙම කාල වකවානුවේදී නපුරු බලවේග පරාජයට පත්වී සත්‍ය සහ සාධාරණය ඉටු වේවායි විපක්ෂ නායක ආර්. සම්බන්ධන් මහතාද ප‍්‍රකාශ කර තිබෙනවා. ඒ, දීපවාලී වෙනුවෙන් සුභ පැතුම් පණිවිඩයක් නිකුත් කරමින්.


Previous Post Next Post