බස් ගාස්තු අඩු කල පොරොන්දු දෙක මෙන්න

පෞද්ගලික බස් රථවලට සමගාමීව අද (08) මධ්‍යම රාති‍්‍රයේ සිට ශී‍්‍රලංගම බස් රථවලද ගාස්තු අඩු කෙරෙන බව එහි නියෝජ්‍ය සාමාන්‍යධිකාරී - ධාවන, පණ්ඩුක ස්වර්ණහංස පවසනවා. මෙම ගාස්තු අඩු කිරීම ඊයේ පැවති ඒකාබද්ධ සාකච්ඡාවකදී එළැඹි තීරණයක් බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.

අවසන්වරට බස් ගාස්තු සංශෝධනය කෙරුණේ ඉකුත් සැප්තැම්බර් 20
වැනිදායි. එවර බස් ගාස්තු සියයට 4 කින් වැඩි කෙරුණා. ඊට ආසන්නම හේතුව වූයේ ඉකුත් සැප්තැම්බර් මස 10 වැනිදා ඞීසල් මිල රුපියල් 5 කින් වැඩි කිරීමයි.

මෙවර ඞීසල් මිල රුපියල් 7 කින් අඩු කර තිබෙනවා. එසේ තිබියදීත් බස් ගාස්තු අඩු කෙරෙන්නේ සියයට 2 කින් පමණයි. ඊට හේතුව කුමක් දැයි ද නෙත් නිවුස් ප‍්‍රශ්න කර සිටියා.

ඊට පිළිතුරු දුන් ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පෙන්වා දුන්නේ "නෑ ඊටත් ඉස්සෙල්ලා ඩීසල් රුපියල් 09කින් වැඩි වෙලා තිබුණා. ඒ වෙලාවේ අපි වැඩි කලේ නෑ. ඒ දෙක එකතු කරලා තමයි අපි මේ ප්‍රතිශතය හදා ගත්තේ." යනුවෙනි.

අද මධ්‍යම රාති‍්‍රයේ සිට බස් ගාස්තු සියයට 2 කින් අඩු කෙරෙන්නේ කොන්දේසි දෙකකට යටත්ව බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා. බස් ගාස්තු පිළිබඳ ජාතික ප‍්‍රතිපත්තිය මාස 3 ක් ඇතුළත යාවත්කාලීන කිරීම පළමු පොරොන්දුවයි. ඊට පෙර ඞීසල් මිල නැවත වැඩි කෙරුණ හොත් බස් ගාස්තුද ඊට සමගාමීව වැඩි කිරීම දෙවන පොරොන්දුව වනවා.

මේ අතර අද මධ්‍යම රාති‍්‍රයේ සිට සිදු කෙරෙන බස් ගාස්තු අඩු කිරීමේදී රුපියල් 25 ට අඩු බස් ගාස්තු සංශෝධනය නොවන බවයි මෙහිදී වැඩිදුරටත් ප‍්‍රකාශ කෙරුණේ. රුපියල් 25 සිට රුපියල් 50 දක්වා බස් ගාස්තු රුපියලකින් අඩුවනු ඇති. රුපියල් 50 ට වැඩි බස් ගාස්තුද ඊට සමගාමීව අඩු කෙරෙනවා.


Previous Post Next Post