උතුරු නැගෙනහිරට ඉල්ලන විසඳුම දුන්නොත් යළි මැතිවරණවලට නොඑන බව TNA කියයි

ව්‍යවස්ථා සංශෝධනයක් තුළින් උතුරු හා නැගෙනහිර පළාත් ඒකාබද්ධ කොට දෙමළ වැසියන්ගේ ප්‍රශ්නයට දේශපාලන විසදුමක් ලබා දීමෙන් අනතුරුව දෙමළ ජාතික සන්ධානයේ බොහෝ දෙනෙකු යළි මැතිවරණවලට ඉදිරිපත් නොවන බව එම්.ඒ සුමන්තිරන් මන්ත්‍රිවරයා ඊයේ (03)  යාපනයේදී පැවසුවා.

දෙමළ ජාතික සන්ධානයේ ප්‍රකාශක හා යාපනය
දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි එම්.ඒ.සුමන්තිරන් යාපනයේදී මාධ්‍යවේදීන් පිරිසකට මේ බව කියා සිටියා.

යාපනය දිස්ත්‍රික්කයේ මන්ත්‍රිවරුන් හත් දෙනෙකු සිටින බවත් ඉන් පස් දෙනෙකුම දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රිවරුන් බව කී සුමන්තිරන් පළාත් සභා මැතිවරණයට තරග කිරීම සඳහා යාපනයේ සිටින දෙමළ ජාතික සන්ධානයේ කිසිම මන්ත්‍රිවරයෙකු තුළ අදහසක් නැතැයිද කියා සිටියා.

උතුරු නැගෙනහිර අර්බුදයට දේශපාලන විසදුමක් සඳහා දෙමළ ජාතික සන්ධානයේ අදහස් රජය විසින් මෑතකදී නැවත විමසා සිටි බව පෙන්වා දෙන සුමන්තිරන් මන්ත්‍රිවරයා, ඒ අවස්ථාවේද පක්ෂය කියා සිටියේ උතුරු නැගෙනහිර පළාත් දෙක නව ව්‍යවස්ථා සංශෝධනයකින් ඒකාබද්ධ කළ යුතු බව යැයිද මන්ත්‍රිවරයා පැවසුවා.

දෙමළ ජාතික සන්ධානය ඉල්ලා සිටින්නේ  නව ව්‍යවස්ථාවක් තුළින් උතුරු නැගෙනහිර පළාත් ඒකාබද්ධ කොට ඒ ව්‍යුහයට එසේත් නොමැති නම් ඒ පළාතට ඒකීය රාජ්‍යයක් තුළ බලය බෙදා හැරෙන දේශපාලන විසදුමක් බව සඳහන් කරන සුමන්තිරන් මන්ත්‍රිවරයා, මෙම ඉල්ලීම පෙඩරල් පාලනයක් ඉල්ලන බව කියමින් දකුණේ පිරිස සෙසු පිරිස් නොමග යවන බවද කියා සිටියා.





Previous Post Next Post