ශ්‍රීලනිපයේ මන්ත්‍රී 7 කට ආසන නැතිවෙයි !

ආණ්ඩුව නියෝජනය කරන ශ්‍රීලනිප පාර්ශවයේ සිට ඒකාබද්ධ විපක්ෂයට එක් වූ 15 දෙනාගේ කණ්ඩායමේ 7 දෙනෙකුට පක්ෂයේ ආසන සංවිධායක ධූර අහිමි වීමට නියමිතව ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ මස 02 වැනිදා පැවැත්වීමට නියමිතව තිබූ ශ්‍රීලනිපයේ සංවත්සරයට
පෙර ආසන බළමණ්ඩල ආදී සංවිධාන පිහිටුවන ලෙස දැනුම් දී තිබුණත්, 15 දෙනාගේ කණ්ඩායමේ බොහෝ දෙනකු එම ඉලක්ක තවම සපුරා නොමැති බව ද වාර්තා වේ.

මෙම 15 දෙනාගේ කණ්ඩායමේ සිටින එස්.බී. දිසානායක, ඩිලාන් පෙරේරා, සුමේධා ජී. ජයසේන, තිලංක සුමතිපාල යන මහත්වරු ඒකාබද්ධ විපක්ෂයේ කටයුතු කරමින් ශ්‍රීලනිප නිල රැස්වීම්වලට ද සහභාගි වෙති.

අනෙක් 11 දෙනා එම රැස්වීම් සඳහා මෙතෙක් සහභාගි වි නොමැති අතර ඒ අතරින් සුනිල් ප්‍රේමජයන්ත, අනුර ප්‍රියදර්ශන යාපා, ජෝන් සෙනෙවිරත්න, ටී. බී. ඒකනායක, චන්දිම වීරක්කොඩි, ලක්ෂ්මන් යාපා අබේවර්ධන, ලක්ෂ්මන් වසන්ත පෙරේරා යන මන්ත්‍රීවරු එජාපය පමණක් නොව, ආණ්ඩුව තුළ ශ්‍රීලනිප ක්‍රියාකාරීත්වය ද දැඩි ලෙස විවේචනය කරමින් සිටිති.

මෙසේ ආසන සංවිධායක ධූරවලින් ඉවත් කිරීමේ අදහස පිළිබඳ විමසීමේ දී හිටපු අමාත්‍ය සුනිල් ප්‍රේමජයන්ත පැවසුවේ, පසුගිය පළාත්පාලන ඡන්දයේ දී 13.8% වැටුණු ශ්‍රීලනිප ඡන්ද ප්‍රතිශතය තවත් අඩුකර ගැනීමට ශ්‍රීලනිපයේ ඇතැම් නිල නායකයන් උත්සාහ දරමින් සිටින බව ය.

(රාවය)

Previous Post Next Post