වැටුප් වැඩි නොකෙරුවොත් A/L පිළිතුරු පත්‍ර බලන්නේ නැහැ!

ලබන 21 දින අ.පො.ස. උසස් පෙළ විභාගයේ පිළිතුරු පත් ඇගයීම් ආරම්භ වීමට පෙර, විදුහල්පති හා ගුරු වැටුප් විෂමතා විසඳීමට අධ්‍යාපන අමත්‍යාංශය කටයුතු නොකරන්නේ නම් උසස් පෙළ විභාගයේ පිළිතුරු
පත් ඇගයීම් වලින් ඉවත් වන බව සමස්ත ලංකා උපාධිධාරි ගුරු සංගමය අවධාරණය කරනවා.

එහි ප්‍රධාන ලේකම් සහ විදුහල්පති හා ගුරු සංගම් එකතුමුවේ කැඳවුම්කරු ඊ.එම්.ජේ.එස්. ද සේරම් සඳහන් කරන්නේ විදුහල්පති හා ගුරු වැටුප් විෂමතා හා සේවා ගැටලුවලට විසඳුම් ලබාදෙන ලෙසට තම සංගම් දිගින් දිගටම කළ ලිඛිත ඉල්ලීම් වලට නිසි ප්‍රතිචාර නොමැති වීම කනගාටුවට කරුණක් බවයි.

 මෙවර උසස් පෙළ විභාගයේ පිළිතුරු පත් ඇගයීම්වලින් ඉවත් වීමට හේතුවන කාරණා විදුහල්පතිවරුන් හා ගුරුවරුන් වෙත මේ වන විටත් දන්වා ඇති බවත් එම වෘත්තීය ක්‍රියාමාර්ගය එලෙසින්ම ක්‍රියාත්මක කිරීමට පෙර ඉල්ලීම් සඳහා ප්‍රතිචාර දැක්වීමට සති දෙකක කාලයක් අධ්‍යාපන අමාත්‍යාංශයට ලබාදීමට තම සංගමය තීන්දු කර ඇති බවත් ඔහු සඳහන් කළා.


Previous Post Next Post